‘හරක් කටා’ට පලායාමට ආධාර කළ බවට සැක හිටපු කොස්තාපල් රක්ෂිත බන්ධනාගාරයට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක හෙවත් ‘හරක් කටා’ට පලායාමට ආධාර අනුබල දුන් බවට අත්අඩංගුවට ගෙන සිටි හිටපු CID කොස්තාපල් රවිදු සන්ධීප නමැත්තා නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහාධිකරණය අද (22) නියෝග කර තිබේ.


නඩු විභාගය සහ නියෝගය

මෙම නඩුව අද (22) දින කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක ඉදිරියේ මෝසමක් මගින් කැඳවනු ලැබූ අතර එහිදී, පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සජිත් බණ්ඩාර අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ, විත්තිකරුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ලබාගත් රැඳවුම් නියෝග අවසන් වී ඇති බව ය. ඒ අනුව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 15(2) වගන්තිය ප්‍රකාරව, විත්තිකරු නඩුව අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඔහු ඉල්ලා සිටියේ ය.

මෙම ඉල්ලීමට විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා විරෝධය පළ කර ඇති නමුත්, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා විසින් විත්තිකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරනු ලැබීය.


ඉදිරි කටයුතු

මෙම නඩුව යළි ලබන 28 වැනිදා කැඳවීමට නියමිත ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart