පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට යළිත් ඇමති ආරක්ෂාව?

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 66 දෙනාගෙන් ජීවිත තර්ජන ඇති බවට පවසන මන්ත්‍රීවරුන්ට යළිත් වරක් ඇමති ආරක්ෂක නිලධාරීන්ගේ ආරක්ෂාව ලබා දීම සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේ අවධානය යොමු වී තිබේ.

තමන්ගේ ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා ඇමති ආරක්ෂක නිලධාරීන් ලබා දෙන ලෙස විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් කථානායකවරයාගෙන් ඉල්ලීම් කර තිබුණි. ඒ අනුව පසුගිය සිකුරාදා (මැයි 23) පාර්ලිමේන්තුවේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

මෙම සාකච්ඡාවට විපක්ෂයේ මන්ත්‍රීවරුන්, පාර්ලිමේන්තු මහ ලේකම් කුෂාණි රෝහණධීර සහ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ඇතුළු පොලිස් ප්‍රධානීන්ද සහභාගී වී සිටියහ. එහිදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ යෝජනා කෙරෙහි දැඩි අවධානය යොමු කර ඇති බව පොලිසිය පවසයි.

ඒ අනුව, ජීවිත තර්ජන ඇති බවට පැවසෙන මන්ත්‍රීවරුන්ට ඇති තර්ජන පිළිබඳ බුද්ධි අංශ යොදවා ආරක්ෂක තක්සේරුවක් ලබා ගැනීමට නියමිතය. එම තක්සේරුවෙන් පසු ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව ලබා දීමට කටයුතු කරන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart