දැනට සිය රැඳවුම් භාරයේ සිටින, හිටපු අමාත්යවරයකු වන සිවනේසතුරෙයි චන්ද්රකාන්ත් හෙවත් පිල්ලෙයාන්ට ඇප ලබාදෙන්නැයි නීතිපති දෙපාර්තමේන්තුවෙන් කළ දැනුම්දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) එකඟත්වය දක්වා නොමැති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් අපට වාර්තා වේ.
පිල්ලෙයාන් දිගටම රැඳවුම් භාරයේ තබාගැනීමට අවශ්ය පමණට සාක්ෂි තමන් සතු බවටත්, ඔහුට ඇප දීම ඉදිරි විමර්ශනවලට බාධාවක් බවටත් CIDය විසින් වැඩිදුර කරුණු දැක්වීමෙන් අනතුරුව, ඇප ලබාදීමේ ස්ථාවරය වෙනස් කරගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙන බව ද වාර්තා වේ.
පිල්ලෙයාන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට
ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීමෙන් තමන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට පිල්ලෙයාන් විසින් පසුගිය දා ශ්රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළ අතර, මෙම පෙත්සම ජුනි 17 වැනිදා සලකා බැලීමට ශ්රේෂ්ඨාධිකරණය පසුගිය දා තීරණය කළේ ය.
මේ තත්ත්වය මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ, කාන්තා ජ්යේෂ්ඨ පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාල, CID විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක මාධව ගුණවර්ධන සහ තවත් කාන්තා සහකාර පොලිස් අධිකාරීවරියක කැඳවූ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්ය සොලිසිටර් ජෙනරාල් ලක්මාලි කරුණානායක විසින් දැනුම්දී ඇත්තේ, පිල්ලෙයාන්ට ඇප ලබාදෙන්නට කටයුතු කරන ලෙස ය.
මේ දැනුම්දීමට එකඟත්වය පළකරන්නට නොකැමැති වූ CID නිලධාරීන්, මේ සම්බන්ධයෙන් සිය උසස් නිලධාරීන් වෙත කරුණු දක්වා ඇති අතර, ඉන් අනතුරුව නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය සමග සිදුකළ සාකච්ඡාවකින් පසු මෙම ඇප ලබාදීමේ තීරණය වෙනස් කරගැනීමට ඔවුන්ට හැකියාව ලැබී ඇත.
පිල්ලෙයාන්ට එරෙහිව දැනටමත් CIDය සිදුකර ඇති විමර්ශනවල ප්රගතිය හා ඒ ඔස්සේ ලැබී ඇති සාක්ෂි මෙන්ම ඉදිරි විමර්ශන කටයුතු සම්බන්ධයෙන් ද සලකාබැලීමෙන් අනතුරුව ලක්මාලී කරුණානායක විසින් ලබාදුන් ඇප ලබාදීමේ උපදෙස අනුව කටයුතු කිරීමේ අවශ්යතාවක් නොමැති බව සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය CIDයට දැනුම්දී තිබේ.
මනුෂ්ය ඝාතන 30කට පිල්ලෙයාන්ගේ නම ඈඳිලා
දැනට හෙළිදරව් වී ඇති තොරතුරුවලට අනුව මනුෂ්ය ඝාතන 30කට අධික සංඛ්යාවක් සම්බන්ධයෙන් පිල්ලෙයාන් වෙත චෝදනා එල්ලවන තත්ත්වයක් උද්ගතව ඇතැයි CID ආරංචි මාර්ගවලින් වාර්තා වන අතර, මේ අපරාධවලින් අති බහුතරය නැගෙනහිර පළාත කේන්ද්ර කරගනිමින් සිදුකර ඇති ඒවා වේ.
මේ සියලු අපරාධ සම්බන්ධයෙන් කොළඹ ප්රධාන කාර්යාලයේ සිට විමර්ශන මෙහෙයවීමේ දුෂ්කරතාව අවබෝධ කරගනිමින්, විශේෂ CID විමර්ශන කණ්ඩායමක් මඩකලපුව ආශ්රිතව ස්ථානගතක කර විමර්ශන වේගවත් කිරීම සම්බන්ධයෙන් මේ වනවිට සලකා බැලෙමින් පවතින බව ද දැනගන්නට ඇත.
2006 වසරේ දී එවකට නැගෙනහිර විශ්වවිද්යාලයේ උපකුලපති මහාචාර්ය රවීන්ද්රනාත් සුබ්රමනියම් කොළඹ දී පැහැරගෙන ගොස් සෙවණපිටිය ප්රදේශයේ දී මරාදැමීම සම්බන්ධයෙන් මේ වනවිටත් ඇසින් දුටු සාක්ෂිකරුවන් 4දෙනකු සිටින බව ද CID ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
මහාචාර්ය සුබ්රමනියම් ඝාතනයට අමතරව, මඩකලපුව දිස්ත්රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ජෝසප් පරරාජසිංහම් ඝාතනය කිරීම හා අම්පාර දිස්ත්රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී අරියනායගම් චන්ද්රනේරු ඇතුළු පිරිසක් ඝාතනය කිරීම ද දැනට පිල්ලෙයාන්ගේ නම ඇඳෙන මනුෂ්ය ඝාතන 30කට අධික සංඛ්යාවට ඇතුළත් ය.
මේ අනුව පිල්ලෙයාන් විසින් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමට එරෙහිව අධිකරණය හමුවේ ඉදිරිපත් කිරීමට තමන් අත ඇති තරම් සාක්ෂි සහ විමර්ශන තොරතුරු ඇති බව CID ස්ථාවරය වී තිබේ.
රටේ ආන්දෝලනයක් ඇති කළ සැකකරුවකුට ඇප දෙන්නැයි කීවේ ඇයි?
පිල්ලෙයාන්ට ඇප ලබාදෙන්නැයි CIDයට දැනුම් දීමේ දී නියෝජ්ය සොලිසිටර් ජනරාල් ලක්මාලී කරුණානායක සිය තනි මතයට කටයුතු කර ඇතිද යන සැකය මේ අනුව මතුවෙමින් පවතී.
පසුගිය අපේල් 08 වැනිදා ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනීම රටතුළ මහත් ආන්දෝලනයකට තුඩුදුන් සිදුවීමක් විය. හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ සිය පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ ප්රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ ලවා තමන්ගේ පෞද්ගලික ජංගම දුරකතනයෙන් පිල්ලෙයාන් හා සම්බන්ධ වීමට දැරූ උත්සාහය උණුසුම් දේශපාලන වාදයකට තුඩුදුන්නේ ය. වසර 15ක් තිස්සේ රනිල් වික්රමසිංහගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස රාජකාරි කළ ආරියවංශ එම තනතුරෙන් ඉවත්කර වහාම ක්රියාත්මක වන පරිදි කන්කසන්තුරේ පොලිස් කොට්ඨාශයට මාරුකර යැවීමට මේ සිද්ධිය හේතු වූ අතර, දුරකතන ඇමතුම් සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිටත් වැඩිදුර CID විමර්ශනයක් සිදුවෙමින් පවතී.
පිල්ලෙයාන් වෙනුවෙන් තාවකාලික නීතීඥයා ලෙස පෙනීසිටිමින් උදය ගම්මන්පිල විසින් රඟදක්වන ලද නාටකය ද රටතුළ විශාල ආන්දෝලනයක් ඇතිකළේ ය.
මේ ආකාරයේ මහජන ළැදියාවට උපරිමයෙන් පාත්ර වූ රැඳවියකු සම්බන්ධයෙන් හදිසියේ ඇප ලබාදීමක් වැනි තීරණයකට යාමේ දී, සිය දෙපාර්තමේන්තුවේ ම ඉහළ නිලධාරීන්ගේ මතය හෝ නොවිමසා කටයුතු කිරීමට නියෝජ්ය සොලිසටර් ජනරාල්වරිය කටයුතු කළාද යන්න ක්ෂේත්රයේ දැඩි කතාබහට ලක්වී තිබේ.
ලක්මාලී කරුණානායක ගේ ඇපදීමේ තීරණය බෙහෙවින් ගැටලු සහගත බව විෂයය සම්බන්ධයෙන් ප්රාමාණිකයන් ගේ අදහස යි.
අපකීර්තිමත් ත්රස්ත පනත
පිල්ලෙයාන් කෙබඳු පරිමාණයේ අපරාධ සිදුකර තිබුණත්, ඔහු සම්බන්ධයෙන් ක්රියාත්මක විය යුත්තේ රටේ සාමාන්ය නීතිය බව අපගේ පෞද්ගලික ස්ථාවරය යි. බලයට ඒමට පෙර ජාතික ජනබලවේගයේ පවා කර්කශ විවේචනයට ලක්වූ අපකීර්තිමත් ත්රස්තවාදය වැළැක්විමේ පනත යටතේ පිල්ලෙයාන්ට එරෙහිව ක්රියාකිරීම සම්බන්ධයෙන් අප එක හෙළා විරුද්ධ බව මෙහිදී ද ප්රකාශ කර සිටින අතර, එම මර්දනකාරී පනත වහාම අහෝසි කිරීමට ආණ්ඩුව කටයුතු කළ බව ද ප්රකාශ කර සිටිමු.
-සනත් බාලසූරිය-