විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල්ට කඩුවෙල නගරාධිපති තනතුර ලැබුණේ ය. ඒ නිකම්ම නොව මහජන ඡන්දයෙනි. ලංකාවේ දේශපාලනය රැළි මත තීරණය වන අතර, ඒ රැලිවලට ‘පොල් ලෙලි’ ගසාගෙන ආවේ ද, අද ඊයේ නොවේ. මාලිමාවට ආ ජන රැල්ලට ගසා ගෙන ආ පොල් ලෙලි සංඛ්‍යාව අපමණය. ඒ පොල් ලෙලි අතර, ‘රංජන් ජයලාල්’ සුවිශේෂී ය.
ලංකාවේ විදුලි අර්බුද ගැන කතා කරද්දී කුප්‍රකට වෘත්තීය සමිති නායකයෙකු වන රංජන් ජයලාල්ගේ නම නිරන්තරයෙන්ම කියැවෙන අතර, මෑතකදී ඔහු සම්බන්ධයෙන් වැඩිපුර සඳහන් වූයේ කඩුවෙල නගරාධිපති තනතුර සඳහා දිවුරුම් දුන් දිනයේ ය. දිවුරුම් දුන් දවසේ ම මොකක්දෝ එකකට පය පැටලී වැටුනු රංජන් ජයලාල් තුවාල නොවී බේරුණේ අනූ නවයෙනි.
දැන් ඒ පය පැටලී වැටීම ද කුමන්ත්‍රණයක් වෙලා ය.
මාව වට්ටපු එක කුමන්ත්‍රණයක්!
නගරාධිපති ධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව තමන්ට සිදුවූ අකරතැබ්බය කුමන්ත්‍රණයක් බව කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් පවසන බව ‘මොනරා’ පුවත්පතේ පළ වූ වාර්තාවක සඳහන් විය.
“ඒක සැලසුම් සහගත සිද්ධියක්. එක්තරා මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදියෙක් තමයි මේක කළේ. මං මාධ්‍ය එක්ක ගොඩක් සමීපව කටයුතු කළ කෙනෙක් විදිහට, මාධ්‍යවේදීන්ට මගේ ගෞරවයක් තියෙනවා. නමුත් මං නොදන්න මාධ්‍යවේදියෙක් මාධ්‍ය ආයතනයක නමක් කියලා මගෙත් එක්ක සම්බන්ධතාවයක් හදාගෙන දෙවෙනිදා තිබුණු උත්සවයට ආවා. ඊට කලින් දවසේ මම එයාට වොයිස් කට් එකකුත් දුන්නා. ඊට කලින් දැන හඳුනගෙන හිටියේ නැහැ. එතකොට වෙච්ච දේ තමයි ස්වාමීන් වහන්සේලාට නමස්කාර කරලා යනකොට, කැමරා රැහැන් එකක් මගේ කකුලේ පැටලෙනවා දැනුණා. ඒක සකස් කරලා ඇද්දාද කියන එක තමයි මට ඒක දණහිස දක්වා පැටලුනා. අවසානයේදී මාව වැටුණා. මගේ දේශපාලන ජීවිතයේ වැටි වැටි නැගිටලා තියෙනවා. මම සතුටු වෙනවා. ඉතිහාසයේ වැටි වැටි නැගිටින කෙනෙක් විදියට”