ජනාධිපති සමාව විකුණුවාද? අනුරාධපුර බන්ධනාගාර අධිකාරී CID අත්අඩංගුවට

ජනාධිපති සමාව අනීතිකව භාවිතා කරමින් රැඳවියෙකු නිදහස් කිරීමේ බරපතළ වංචාවක් සම්බන්ධයෙන් අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා ඊයේ රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අද (ජුනි 10) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයකට අනුව, වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට ජනාධිපතිවරයාගේ අනුමැතියකින් තොරව ඩබ්.එච්. අතුල තිලකරත්න නැමැති රැඳවියා නිදහස් කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ. මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 (1) වගන්තිය යටතේ ජනාධිපතිවරයාට හිමි පොදු සමාව ලබාදීමේ බලය සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයක් මතු කර තිබේ.

සාමාන්‍ය ක්‍රියාපටිපාටියට අනුව, බන්ධනාගාර අධිකාරීන් විසින් තෝරා ගන්නා සිරකරුවන්ගේ නාම ලේඛනයක් අධිකරණ අමාත්‍යාංශය වෙත යොමු කරන අතර, එය පරීක්ෂා කිරීමෙන් පසු ජනාධිපති ලේකම් කාර්යාලය හරහා ජනාධිපතිවරයාගේ අනුමැතිය මත පොදු සමාව හිමි වේ. කෙසේ වෙතත්, අනුරාධපුර බන්ධනාගාරයේ මුදල් වංචාවකට අදාළව සිරගතව සිටි ඩබ්.එච්. අතුල තිලකරත්නගේ නම බන්ධනාගාර කොමසාරිස් ජනරාල් විසින් ජනාධිපති කාර්යාලය වෙත එවන ලද නම් 388කින් යුත් ලේඛනයේ කිසිදු තැනක සඳහන් වී නැත.

මෙම සිදුවීම “ජනාධිපති සමාව යටතේ අනුමැතිය නොලැබූ සිරකරුවෙකු නිදහස් කිරීම සම්බන්ධව” යන ශීර්ෂය යටතේ CID වෙත යොමු කර ඇති අතර, විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමටත්, වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමටත් ඉදිරියේදී කටයුතු කෙරෙනු ඇති බවට ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කෙරේ.

දකුණු කළුතර ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි මෙම බන්ධනාගාර අධිකාරිවරයාගේ අත්අඩංගුවට ගැනීමත් සමඟ, බන්ධනාගාර පද්ධතිය තුළ සිදුවන දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳව නැවත වරක් සමාජයේ දැඩි කතාබහක් ඇති වී තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart