ජනාධිපති සමාව අවභාවිතා කරමින් අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීමේ සිද්ධියත් සමඟ, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය වැඩබලන බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත භාර දී ඇති බවයි වාර්තා වන්නේ.
මෙම ඉල්ලා අස්වීම බන්ධනාගාර දෙපාර්තමේන්තුව තුළ විශාල කැළඹීමක් ඇති කර ඇති අතර, රජයේ අවධානය මේ වන විට දෙපාර්තමේන්තුව ප්‍රතිසංවිධානය කිරීම වෙත යොමුවී තිබේ. ඒ අනුව, දිවයින පුරා බන්ධනාගාර අධිකාරී තනතුරුවල රැසක් වෙනස්කම් සිදුකිරීමට නියමිත බවද වාර්තා වේ.
මීට පෙර, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා වැඩ තහනමට ලක්වීමත් සමඟ, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු වන නිශාන් ධනසිංහ මහතා එම තනතුරේ වැඩබැලීම සඳහා පත් කෙරුණි. මෙම සිදුවීම් මාලාවෙන් පසුව, බන්ධනාගාර පද්ධතියේ පාලනය හා විනිවිදභාවය පිළිබඳව ප්‍රශ්න රැසක් මතුව තිබේ.