කොළඹ පුරපති තේරීමේ රහස් ඡන්දය පිටුපස ‘ඩීල් දේශපාලනයක්’ – දුමින්ද නාගමුව

ඊයේ (16) පැවති කොළඹ නගර සභාවේ නගරාධිපති තේරීම් ඡන්දයේදී ජාතික ජන බලවේගය (NPP) රහස් ඡන්දයක් ඉල්ලා සිටීම පිටුපස, කිසියම් පාර්ශ්වයක් සමග ප්‍රසිද්ධියේ හෙළි කළ නොහැකි එකඟතා තිබූ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව ඊයේ ප්‍රකාශ කළේය. මෙය “ඩීල් දේශපාලනය” යළි කරළියට ඒමක් බවද ඔහු අවධාරණය කළේය.

නාගමුව වැඩිදුරටත් කියා සිටියේ, පනතට අනුව රහස් ඡන්දයක් හෝ විවෘත ඡන්දයක් තීරණය කළ යුත්තේ රැස්වන සභාවේ බහුතර කැමැත්තෙන් වුවද, කොමසාරිස්වරිය විසින් එම ක්‍රියාවලිය මගහැර කෙළින්ම රහස් ඡන්දයකට ගිය බවයි.

“ජාතික ජන බලවේගය රහස් ඡන්දයක් ඉල්ලුවේ විවෘතව හෙළි කළ නොහැකි එකඟතා තියෙන නිසයි. මොනයම් හෝ කණ්ඩායමක් සමග එකඟතා ගොඩනැගුණා නම්, එය විවෘතව හෙළි කරන්න පුළුවන් වෙන්න ඕනේ,” නාගමුව මහතා පැවසීය. ඔහු තවදුරටත් අවධාරණය කළේ, දේශපාලන එකඟතා විවෘත විය යුතු බවත්, රහස් එකඟතා හේතුවෙන් ඡන්දය දෙන අයට හෝ ඡන්දය ලබා ගන්නා අයට තමන් කවුරුන් සමග ගනුදෙනු කරන්නේද යන්න ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට නොහැකි වන බවත්ය.

“මේක ඩීල් දේශපාලනය ඉස්මතු වීමක්. ජාතික ජන බලවේගය ප්‍රතික්ෂේප කරපු දේශපාලන සංස්කෘතියට ඔවුන් ගිහින් තියෙන බව ප්‍රකාශ වීමක්. අපි ඒ බව රටට කිව යුතුයි,” ඔහු පැහැදිලි කළේය.

කෙසේ වෙතත්, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස තමන් සිතන්නේ, බහුතරය නොතිබුණද, වැඩි බලයක් මාලිමාවට (NPP) තිබේ නම්, ඔවුන්ට එම සභාවල බලය පිහිටුවීමට ඉඩ දිය යුතු බව ද දුමින්ද නාගමුව මෙහිදී ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart