ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින යුදමය ගැටුමේ ආර්ථික බලපෑම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විවාදයක් ඉල්ලා විපක්ෂය හැසිරුණු ආකාරය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (17) දැඩි ලෙස විවේචනය කළේය. පාර්ලිමේන්තුවට ජාතික වැදගත්කමක් සහිත ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අවස්ථා තිබියදීත්, විපක්ෂය “අනවශ්‍ය ගැටුම්” නිර්මාණය කළ බව ඔහු අවධාරණය කළේය.
අමාත්‍ය ජයතිස්ස ප්‍රකාශ කළේ, ඊශ්‍රායල-ඉරාන ගැටුමේ බලපෑම පිළිබඳව පාර්ලිමේන්තුවේ ඕනෑම මන්ත්‍රීවරයෙකුට අදහස් ප්‍රකාශ කිරීමට අයිතියක් ඇති බවත්, එය සියලු පාර්ශ්වයන්ට වැදගත් වන බවත්ය. කෙසේ වෙතත්, එවැනි හදිසි ජාතික වැදගත්කමක් සහිත ප්‍රශ්න පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා “27(2)” අවස්ථාව පවතින බව ඔහු සිහිපත් කළේය.
“විපක්ෂ මන්ත්‍රීවරුන්ට ඒ අවස්ථා අද දෙකක් තිබුණා. යුද්ධය පටන් ගත්තේ ඊයේ රෑ හෝ අද උදේ නෙවෙයි. විපක්ෂ නායකතුමාට තීන්දුවක් ගත හැකිව තිබුණා මේ මොහොතේදී කාලීනව වැදගත්ම ප්‍රශ්නය 27(2) යටතේ ඉදිරිපත් කරන්න ඕනේ මොකක්ද කියන එක. එතුමා ඒ අවස්ථාව ගත්තේ නැහැ,” අමාත්‍යවරයා පැවසීය.
එසේම, අද සභාව කල් තබන අවස්ථාවේ යෝජනාවක් ලෙස කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා හේරත් විසින් මැදපෙරදිග යුද ගැටුම සම්බන්ධයෙන්ම ප්‍රශ්න ඉදිරිපත් කර ඇති බවත්, විවාදයක් අතරතුරදී වුවද මේ පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමට හැකියාව තිබූ බවත් ඔහු පෙන්වා දුන්නේය.
අමාත්‍ය ජයතිස්ස වැඩිදුරටත් කියා සිටියේ, පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව අවස්ථා ලබා දී තිබියදීත් ඒවා භාවිතා නොකර, සමහර මන්ත්‍රීවරුන් අනවශ්‍ය ගැටුමක් ඇති කළ බවයි. “ඒ අවස්ථාව ලබා ගැනීම සඳහා එතුමන්ලාට ඉතාම සාධනීයව කරුණු ඉදිරිපත් කිරීමේ හැකියාව තිබුණා. නමුත් මේ මන්ත්‍රීවරු කිහිපදෙනා හැසිරිච්ච විදිහ ගරු විපක්ෂ නායකතුමා කාටවත් අනුමත කරන්න බැහැ,” ඔහු සඳහන් කළේය.
කතානායකවරයාට එල්ල වූ අපහාසයන් පිළිබඳව ද අමාත්‍යවරයා සිය කනස්සල්ල පළ කළේය. “ඔබතුමාට (කතානායක) කරපු අපහාසය… මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අහගෙන හිටියා. ඒ අපහාස කළේ කතානායකතුමාට පුද්ගලයෙක් හැටියට නොවෙයි. මේ සභාවට, මේ කතානායක පුටුවට,” ඔහු අවධාරණය කළේය. එවැනි ආවේගශීලී වචන භාවිත කරන්නේ නම් පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යාමට නොහැකි බවද අමාත්‍යවරයා කියා සිටියේය.
ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු වන අජිත් පී. පෙරේරා ද ආමන්ත්‍රණය කළ අමාත්‍ය ජයතිස්ස, කතානායකවරයාට එරෙහිව භාවිත කළ වචන කිසිසේත්ම පාර්ලිමේන්තුවට නොගැලපෙන බව පැවසීය. “අවස්ථාව ගන්න පුළුවන්, අවස්ථාව ලබා දෙනවා ගරු කතානායකතුමා. ඒකෙදි මේ හැසිරීම තමුන්නාන්සේලාගේ අපි අනුමත කරන්නේ නැහැ. කරුණාකරලා, පාර්ලිමේන්තුවේ ගරුත්වය තියාගෙන යමු අපි,” ඔහු අවසාන වශයෙන් ඉල්ලා සිටියේය.