රහස් ඡන්දය සහ ඡන්දදායකයාගේ ඇසට වැලි ගැසීම

කොළඹ මහා නගර සභාවේ නගරාධිපතිවරයා සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා තෝරා ගැනීම සඳහා වන ක්‍රියාවලිය තුළ රහස් ඡන්දය සහ විවෘත ඡන්දය සම්බන්ධයෙන් වන විවාදයක් මේ වන විට සමාජය තුළ පවතී. විශේෂයෙන් ම ජාතික ජන බලවේගය සහ කොමසාරිස්වරිය මෙහිදී ක්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන් දේශපාලන ලෝකය තුළ විසම්මුතියක් පවතී.

රහස් ඡන්දය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය ඇමැතිවරයෙකු වන කරු පරණවිතාන විසින් තම ෆේස් බුක් ගිණුමේ තැබූ සටහනකි.

රහසින් වත් පව් නොකරන්නවුන් ලෙස පෙනී සිටිය ද, දේශපාලන බලය හමුවේ ඕනෑම දේශපාලන කැත වැඩක් යුක්ති සහගත කරගැනීමේ තර්ක එකී සාදාචාරවාදීන් ද අවස්ථාව පැමිණි විට පාවිච්චි කරනු ඇත. එය මැකියාවෙලියානු යථාර්ථයකි. රහස් ඡන්දයට ද, එය අදාළ ය. මේ ලියන්නේ ඒ ගැන නොවේ. රහස් චන්දය හා මෙි යුගයේ ප්‍රජාතන්ත්‍රවාදය අතර පරස්පරයක් ඇති බව පැවසීමටය.

මේ යුගයේ ප්‍රජාන්ත්‍රවාදී ආණ්ඩුකරණයට අදාළ වන්නේ විවෘත ආණ්ඩු ප්‍රවර්ධනයයි. ව්වෘත ආණ්ඩු යුගයේ දේශපාලන එකඟතාද විවෘත විය යුතුය. එසේම සමානුපාතික මැතිවරණ ක්‍රමයකට බර තබා සකස් කර තිබෙන ක්‍රමයක් ඇතුළත පක්ෂයේ/කණ්ඩායමේ පොදු මතය ඉක්මවා මන්ත්‍රී වරුන්ගේ පුද්ගලික කැමැත්තට අනුව කටයුතු කිරීමට ඉඩ දීම යනු තවත් පරස්පරයකට ඉඩදීමක් හා අරාජිකත්වයකට පාර කපා ගැනීමකි. මේවා කිරීමෙන් අද විඳින ජොලිය හෙට නැතිවන බව අමතක කළ යුතු නැත.

රහස් චන්දය තව දුරටත් භාවිත කිරීමේ අයිතිය දිය යුත්තේ ජනතා නියෝජිතයන් මැතිවරණවල දී තෝරා පත්කරගන්නා චන්දදායකයාට පමණි. එසේ පත්වන ජනතා නියෝජිතයන්ටද රහස් චන්ද වරප්‍රසාදය හිමි වන විට වැලි වදින්නේ චන්දදායකයාගේම ඇසටය. මේ ඡන්දදායකයා තමන්ගේම ඇස්වලට කැමැත්තෙන් වැලිගස්සවා ගන්නා නාටක අප ඉදිරියේ රඟ දැක්වෙන මොහොතකි..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart