වනසිංහ පවුලට අහිමි වූ යුක්තිය – රාජපක්ෂලාගේ දේශපාලන පළිගැනීම්වල කළු පැල්ලම!

ජෙනරාල් හැමිල්ටන් වනසිංහගේ අවමංගල්‍ය උත්සවයකදී මහින්ද රාජපක්ෂ මහතා සිටින ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින්, මෙරට දේශපාලනයේ අඳුරු පැති සහ හමුදා නිලධාරීන්ට සිදුවූ අසාධාරණකම් පිළිබඳව යළිත් සංවාදයක් ඇවිලී තිබේ. ඒ, ජෙනරාල් වනසිංහගේ පුත්, යුද හමුදාවේ උසස් නිලධාරියෙකු ලෙස සැලකෙන මේජර් ජෙනරාල් සංජය වනසිංහගේ ගුණය පිළිබඳවයි. වචනයකින්වත් කිසිවෙකුට හානියක් නොකළ සංජය වැනි නිලධාරියෙකු සිටි පවුලකට, දේශපාලන පළිගැනීම් හමුවේ සිදුවූ අසාධාරණය, මේ ඡායාරූපය යටින් දිවෙන කතාවයි.

ජෙනරාල් හැමිල්ටන් වනසිංහ යනු මේ රට වෙනුවෙන් තම පවුලේ සාමාජිකයන් තිදෙනෙකුම කැපකළ සෙන්පතියෙකි. තනතුරේ බලය යොදා තම නෑදෑ දරුවන් යුද බිමෙන් ඉවත් කර නොගත් ඔහුගේ අවංකභාවය නිසාම, ඔහුගේ දියණියට තම සැමියා අහිමි විය. ඕනෑම පුරවැසියෙකුට මෙන්, තමාට කැමති දේශපාලන මතයක් දැරීමේ අයිතිය ජෙනරාල් වනසිංහට ද තිබුණි. 2010 ජනාධිපතිවරණයේදී ජෙනරාල් සරත් ෆොන්සේකාගේ වේදිකාවට ඔහු නැගීම, ඔහුට මෙන්ම ඔහුගේ පවුලට ද දේශපාලන පළිගැනීම්වලට ලක් වීමට හේතු විය. ෆොන්සේකා පරාජය වීමෙන් පසු, ඔහුගේ හමුදාපති සමයේ ඔහු සමඟ රාජකාරි කළ මේජර් ජෙනරාල්වරුන් දුසිමක් පමණ හමුදාවෙන් නෙරපා හැරීමෙන්, රාජපක්ෂ ආණ්ඩුව තම පළිගැනීම ආරම්භ කළේය. මුහමාලේ දරුණු සටනට මුහුණ දුන්, 53 වන සේනාංකාධිපතිව සිටි මේජර් ජෙනරාල් සමන්ත සූරියබණ්ඩාර ද මෙලෙස රැකියාව අහිමිව රට හැර ගිය අයෙකි. විදේශගතව අන්ත දුක්ඛිත ලෙස මියගිය ඔහුට, අවමංගල්‍යයේදී නිල ඇඳුම පවා ඇඳීමට අවසර නොදීම, මෙරට දේශපාලන පළිගැනීම්වල තවත් එක් කුරිරු තත්වයකි.

මෙම පලිගැනීම් කොතරම් දුර ගියාද යත්, ජෙනරාල් වනසිංහගේ බිරිඳ අසනීපව යුද හමුදා රෝහලට ගෙනා මොහොතේදී, ඇයව භාර ගැනීමට පවා රෝහල් බලධාරීන් අකමැති විය. එවකට යුද හමුදා මෙහෙයුම් අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ මැදිහත් වීමෙන් පමණක්, “සර්, මේ අපි සියලු දෙනාගේම ගෞරවයට පාත්‍ර වූ ජෙනරාල් වනසිංහගේ බිරිඳ, සංජයගේ අම්මා” යනුවෙන් පවසමින්, ඉහළින් ආ නියෝගවලට පටහැනිව ඇයව රෝහලට ඇතුළත් කිරීමට සිදුවිය. මේ සියල්ල සිදුවන විට, ජනාධිපතිවරයා වූයේ ඡායාරූපයේ සිටින මහින්ද රාජපක්ෂ වන අතර, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වූයේ ගෝඨාභය රාජපක්ෂ ය.

රාජපක්ෂ පාලනය යටතේ පමණක් නොව, රනිල් වික්‍රමසිංහගේ පාලනය යටතේ ද වනසිංහ පවුලට අසාධාරණයක් සිදුවූ බවට චෝදනා එල්ල වේ. මේජර් ජෙනරාල් සංජය වනසිංහට හිමිවිය යුතු වූ යුද හමුදාපති තනතුර සහ වීර පදක්කමක් පවා දේශපාලන බලපෑම් මත අහිමි විය. මෙම අසාධාරණයන්ට මුල් වූ බවට චෝදනා ලබන සිව් තරු ජෙනරාල්වරුන් පවා, ජෙනරාල් වනසිංහගේ අවමංගල්‍ය උත්සවයේ ඉදිරියෙන්ම වාඩි වී සිටීම, මෙම සිදුවීම්වල දේශපාලන කේන්ද්‍රය තවදුරටත් මතු කරයි. එදා ජෙනරාල් වනසිංහගේ බිරිඳ රෝහලට ඇතුළු කිරීම වැළැක්වීමට මුල් වූ හිටපු යුද හමුදාපතිවරයා ද අවමංගල්‍ය උත්සවයට සහභාගී වී සිටියේය.

යුද්ධයේදී ඇසට ඇසක්, දතට දතක් යන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වුවද, සංජය වනසිංහ පළිගැනීමට සමාව දුන් බවට විශ්වාස කෙරේ. මෙය ඔහුගේ මහත්මා ගුණය පමණක් නොව, තමන්ට සහ පවුලට අසාධාරණයක් කළ පිරිසක් ගැන අහිතක් නොසිතා සිටීමට හැකි වන්නේ මුනිවරයෙකුට පමණි. මේ අතින් සංජය යනු විශිෂ්ට නිලධාරියෙකි.

ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට දායක වූ විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න විශ්‍රාම ගැනීමෙන් පසු ජෙනරාල් නිලයට උසස් කිරීම, දේශපාලන පළිගැනීම්වලට ලක් වූ බව කියන විශ්‍රාමික මේජර් ජෙනරාල් මෙන්දක සමරසිංහ ශ්‍රාමයෙන් පසු ලුතිනන් ජෙනරාල් නිලයට උසස් කිරීම සහ ජගත් ඩයස් මහතා ද ලුතිනන් ජෙනරාල් නිලයට උසස් කිරීම වැනි දේ සිදුවූ නමුත්, රට වෙනුවෙන් කළ කැපකිරීම් සහ සුදුසුකම් සලකා බලන විට සංජය වනසිංහට හිමිවිය යුතු වූ තරු තුනේ ජෙනරාල් නිලය (යුද හමුදාපතිවරයාට හිමි නිලය) අහිමි කිරීම, දේශපාලනයේ නග්න යථාර්ථය පෙන්නුම් කරයි. දැන්වත් මේජර් ජෙනරාල් සංජය වනසිංහට යුක්තිය හිමි විය යුතු නොවේද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart