හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව අද (ජුනි 26) දෙවැනි නඩුවක් ගොනු කරමින්, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ බෑනා ඇතුළු පවුලේ සාමාජිකයන්ට එරෙහිව ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබේ. මෙම නව අධිචෝදනා පත්‍රය චෝදනා 43කින් සමන්විත වේ.
මේ අනුව, අද දිනයේ පමණක් කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව නඩු දෙකක් ගොනු වී ඇත. පළමු නඩුව, ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් වන අතර, එහිදී ඔහු ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා 13ක් ගොනු කරනු ලැබීය. මෙම අධිචෝදනා ගොනු කිරීම සිදුවූයේ මහාධිකරණ විනිසුරුවන් වන මහේන් වීරමන්, අමාලි රණවීර සහ ප්‍රදීප් අබේරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේය.
පසුගිය ජූනි 19 වැනිදා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට අවසන් වරට විමර්ශනවල ප්‍රගතිය වාර්තා කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය කියා සිටියේ, ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ වසරකුත් මාස 8යි දින 6ක විමර්ශන මේ වන විට අවසන් කර ඇති බවයි.