එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් මහතාගේ මෑතකාලීන ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා දැඩි විවේචනයක් එල්ල කරයි. ටර්ක් මහතා මෙරටට පැමිණියේ “එල්.ටී.ටී.ඊ. හිතවාදීන්ගේ අවශ්‍යතාවලට අනුව සකස් කරන ලද මානව හිමිකම් වාර්තාවක්” ඉදිරි ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීමේ අරමුණින් බව ඔහු චෝදනා කරයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වීරවංශ මහතා ප්‍රකාශ කළේ, ආණ්ඩු පක්ෂයට හෝ විපක්ෂයට මේ පිළිබඳව කිසිදු තැකීමක් නොමැති බවයි. විපක්ෂය මේ පිළිබඳව කතා නොකරන්නේ ඔවුන්ගේ කටවලට “ජිනීවා පිට්ටු හිර වී” ඇති නිසා බවට ද ඔහු උපහාසාත්මකව සඳහන් කළේය. රටේ “කොන්ද පණ නැති රතු වස්ත්රධාරී ආණ්ඩුවක්” පවතින බැවින් ඔවුන් මේ පිළිබඳව කිසිවක් රටට නොපවසන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයෙකු සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නේ යම්කිසි තීරණාත්මක සිදුවීමක් සිදුවීමට පෙර බව පෙන්වා දුන් වීරවංශ මහතා, ටර්ක් මහතා මෙම සංචාරයේදී සිදුකළ ප්‍රකාශ ඉතා බරපතළ බව අවධාරණය කළේය. මෙවර සංචාරයේදී වෝල්කර් ටර්ක් හමුවී ඇත්තේ දෙමළ බෙදුම්වාදී අදහස් දරන්නන් පමණක් බව ඔහු පෙන්වා දෙයි.
යුද්ධයට නායකත්වය දුන් හමුදා ප්‍රධානීන්, නීතිඥ සංවිධාන සහ ජාතික සංවිධාන ටර්ක් මහතා හමුවීමට අවස්ථාව ඉල්ලා සිටිය ද, එම කිසිදු ඉල්ලීමක් ඔහු නොසලකා හැර ඇති බවත්, නමුත් පැලවත්තේ සිටින “රතු වස්ත්රධාරී ටිල්වින් සිල්වා” මහතාව ඉතා කැමැත්තෙන් ගොස් හමු වී ඇති බවත් වීරවංශ මහතා චෝදනා කළේය.
වෝල්කර් ටර්ක්ගේ මූලික අභිප්රායක් වන්නේ ශ්‍රී ලංකාව තුළ ස්වාධීන අභිචෝදක කාර්යාලයක් පිහිටුවීම සහ සත්‍ය සෙවීමේ කොමිසමක් පිහිටුවීම බව විමල් වීරවංශ මහතාගේ අදහසයි. ඒ අනුව, යුද්ධය නිමා කළ හමුදා සෙබළුන් හා ඊට දායක වූ පිරිස් කොටු කිරීම එහි අරමුණ බව ඔහු පවසයි. මෙම අභිචෝදක කාර්යාලය “කොටි අභිචෝදක කාර්යාලයක්” ලෙස හැඳින්විය හැකි බව ද ඔහු සඳහන් කළේය.
යුද්ධය පැවති සමයේ උතුරේ හා දකුණේ බොහෝ පිරිස් මියගිය බවත්, නමුත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාට දෙමළ බෙදුම්වාදීන් පෙන්වීමට උත්සාහ කරන්නේ උතුරේ සාමාන්‍ය ජනයා පමණක් යුද්ධයෙන් මියගිය බවට බවත්, ඔහු තවදුරටත් චෝදනා කළේය.