චෙම්මණි සමූහ මිනීවළ කැනීම් පිළිබඳ ශානක්‍යන්ගෙන් බරපතළ ප්‍රශ්න කිරීමක්

යාපනය, චෙම්මණි සමූහ මිනීවළ කැණීම් සම්බන්ධයෙන් බරපතළ කනස්සල්ල පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමාණික්කම් ප්‍රකාශ කරයි. එම ක්‍රියාවලියේ විනිවිදභාවය සහ ආරක්ෂාව පිළිබඳ බැරෑරුම් ප්‍රශ්න මතු කරමින් ඔහු අද (ජුනි 30) නිවේදනයක් නිකුත් කර තිබේ.

රාසමානික්කම් පෙන්වා දෙන්නේ, මේ වන විට සිරුරු 33ක් ගොඩගෙන ඇතත්, එම දේහයන්ගේ ආරක්ෂාව සහ කටයුතුවල අඛණ්ඩතාව සහතික කිරීම සඳහා ප්‍රමාණවත් පහසුකම් එම ස්ථානයේ නොමැති බව ය.

මුලතිව්හි කොක්කුතොඩුවායි භූමියේ මෙන් නොව, වැසි සහ ජල ගැලීම්වලින් සොහොන් ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂිත ව්‍යුහයන් ඉදිකර තිබූ නමුත්, චෙම්මණිහි ඇත්තේ අවම ආවරණයක් සපයන මූලික නවාතැනක් පමණක් බව ඔහු පෙන්වා දුන්නේය.

අදාළ ස්ථානයට මාධ්‍ය ප්‍රවේශය සීමා කිරීමද ඔහු විවේචනය කළේය.

“අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය (OMP) මාධ්‍යවේදීන්ට දිනකට දෙවරක් ස්ථානයට ප්‍රවේශ විය හැකි බව ප්‍රකාශ කළ ද, දැනට ඔවුන්ට අවසර ලබා දෙන්නේ දිනපතා ප.ව. 4:30ට මිනිත්තු පහක කාලයක් පමණයි” යයි රාසමාණික්කම් පැවසුවේ, මාධ්‍යයට දිනකට තුන් වරක් ප්‍රවේශය තිබූ කොක්කුතොඩුවායි හා මෙම තත්ත්වය සසඳමිනි. “මාධ්‍යවේදීන්ගේ සංඛ්‍යාව වැඩිවීමත් සමඟ නිසි වාර්තාකරණය සඳහා වැඩි කාලයක් අවශ්‍ය වෙනවා”

වර්තමානයේ පොලිසිය සහ දේශීය සුසාන භූමි සේවකයින් විසින් සිදු කරනු ලබන එම ස්ථානයේ ආරක්ෂක විධිවිධාන පිළිබඳ ව ද මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.

“මෙම ආරක්ෂක මට්ටම ප්‍රමාණවත් නොවන අතර පරීක්ෂණය කෙරෙහි මහජන විශ්වාසය බිඳ වීමට හේතු වෙන්න පුළුවන්” ඔහු පැවසීය.

චෙම්මණි ප්‍රදේශයේ ප්‍රවේශවීමේ හැකියාව නිසා නිරීක්ෂණ අවශ්‍යතාව අඩු වන බව නිලධාරීන් ප්‍රකාශ කළ ද, එම ස්ථානයේ CCTV කැමරා නොමැති බැවින් විනිවිදභාවය පිළිබඳ ගැටළු මතුවන බව ද හෙතෙම සඳහන් කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart