කැස්බෑවේ අඳුරු සෙවණැල්ල ලොකුගේ නික්ම යයි!

ශ්‍රී ලංකා දේශපාලනයේ මතභේදාත්මක චරිතයක් වූ ගාමිණී ලොකුගේ, වසර 17ක එක්සත් ජාතික පක්ෂ (එජාප) පාලන සමයෙන් වැඩි කාලයක් පුරා කැස්බෑවේ අසීමිත බලවතෙකු ලෙස කටයුතු කළේය. ඔහුගේ දේශපාලන බලය අභියෝගයට ලක් වූයේ 1994දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ නැගී ඒමත් සමඟය. චන්ද්‍රිකාගේ පාර්ශ්වයෙන් පැමිණි චන්දන කත්‍රිආරච්චි ලොකුගේගේ ආධිපත්‍යය බිඳ දැමීමට උත්සාහ කළද, එය එතරම් සාර්ථක වූයේ නැත. පසු කලෙක කත්‍රිආරච්චි මෛත්‍රීපාල සිරිසේනගේ පාර්ශ්වයට එක් වූවත්, අද වන විට ඔහු දේශපාලන සිතියමෙන් මැකී ගොස් ඇත. කැස්බෑවේ ඩික්සන් ජේ. පෙරේරාට ද මෙවැනිම ඉරණමක් අත් විය. එහෙත් ලොකුගේ, තම මරණය දක්වාම නම කියවෙන, ප්‍රශ්නකාරී දේශපාලකයෙකු ලෙස රැඳී සිටියේය.

ආණ්ඩු බලය නොතිබූ කාලවකවානුවක වුවද, ලොකුගේගේ දේශපාලන ග්‍රහණය ලිහිල් වූයේ නැත. මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ලබා ගන්නා විට, චන්ද්‍රිකා කඳවුරේ අනෙකුත් අයට මෙන්ම කත්‍රිආරච්චිට ද පසුබෑමකට ලක් වීමට සිදු විය. මහින්ද රාජපක්ෂගේ පාලන කාලය තුළ, ශක්තිමත් එජාප දේශපාලනඥයන් තමා වෙතට එක් කර ගැනීමේ ඔහුගේ උපාය මාර්ගය යටතේ, මුලින්ම එක් වූ අය අතර ලොකුගේ ද විය. මහින්ද සහ ලොකුගේ අතර පැවති ව්‍යාපාරික සබඳතා පිළිබඳ කටකතා පැතිර ගිය අතර, මෑතකදී ඇති වූ අරගල සමයේදී ලොකුගේගේ “ලොකු ගේ” ගිනිබත් වීම එම සම්බන්ධතා පිළිබඳව තවත් ප්‍රශ්න මතු කළේය.

අභාවප්‍රාප්ත වන තුරුම මහින්ද රාජපක්ෂ මහතාගේ සමීපතම හිතවතෙකු මෙන්ම පොහොට්ටු පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීමට ලොකුගේට හැකි විය. වසර 82ක දීර්ඝ ආයු කාලයක් භුක්ති විඳි ඔහු, දූෂණ ඇතුළු බරපතල චෝදනා සහ කෝටි ගණනක් වටිනා දේපළ පසුවට ඉතිරි කරමින් මෙලොවින් සමුගත්තේය. ඔහුගේ දේශපාලන ගමන පුරාවටම අයථා ක්‍රියා සහ අක්‍රමිකතා පිළිබඳ චෝදනා ඔහු පසුපස හඹා ආවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart