රු. 500 භාණ්ඩයට රු. 37,000ක් අයවීම ගැන හර්ෂ ද සිල්වාගෙන් අනාවරණයක්

පාරිභෝගිකයන් ඊ-වාණිජ්‍ය වේදිකා (E-Commerce Platforms) හරහා මිලදී ගන්නා භාණ්ඩ සඳහා අසාමාන්‍ය ලෙස ඉහළ පිරිවැයක් දැරීමට සිදුව ඇති බව පාර්ලිමේන්තුවේ පොදු මුදල් කාරක සභාවේ (COPF) සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි. ශ්‍රී ලංකා රේගුව නිසි රාමුවකින් තොරව HS Code මත පදනම් වූ බදුකරණයට මාරු වීමට හදිසියේ කටයුතු කිරීම මෙයට හේතුව බව ඔහු සඳහන් කරයි.

එක්ස් (X) සමාජ මාධ්‍ය ජාලයේ පළ කරන ලද ප්‍රකාශයක ඔහු කියා සිටියේ රුපියල් 500ක භාණ්ඩයක් සඳහා රුපියල් 37,000ක පමණ අමතර ගාස්තු එකතු විය හැකි බවයි.

හර්ෂ ද සිල්වා පෙන්වා දෙන්නේ 2025 ජුනි 3 වන දින COPF විමර්ශන මගින් රේගුවේ අවිධිමත් බර මත පදනම් වූ E-Commerce බදු ක්‍රමය හෙළිදරව් වූ බවත්, වසර ගණනාවක් තිස්සේ ඊට නීතිමය පදනමක් නොතිබූ බවත්ය. රජයේ අකාර්යක්ෂමතාව හේතුවෙන් Temu වැනි වේදිකාවලට බදු රහිත තොග ආනයන මගින් අපගේ වෙළඳපොළට භාණ්ඩ ගලා ඒමට ඉඩ සැලසුණු අතර, එය දේශීය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට හානි කරමින් නීතිමය අඩුපාඩු වලින් අයුතු ප්‍රයෝජන ගෙන ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම ක්‍රියාව අප්‍රේල් මාසයේ දී පාර්ශවකරුවන් සමඟ පැවති රැස්වීම්වල දී හෙළි වූ විට, රේගුව HS Code මත පදනම් වූ බදුකරණයට මාරු වීමට කඩිමුඩියේ කටයුතු කර ඇති නමුත්, නිසි රාමුවක් නොමැතිව එය සිදු කිරීම නිසා පාරිභෝගිකයන්ට දැන් අසාමාන්‍ය පිරිවැයක් දැරීමට සිදුව ඇති බව ආචාර්ය හර්ෂ ද සිල්වා අවධාරණය කරයි.

“රුපියල් 500ක භාණ්ඩයක් සඳහා රුපියල් 37,000ක ගාස්තු අය විය හැකියි! මෙම අකාර්යක්ෂමතාවය ගැනුම්කරුවන්ට, ව්‍යාපාරවලට සහ අපගේ ආර්ථිකයට හානිකරයි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart