තොරතුරු දැනගැනීමේ කොමිසමේ නව සභාපතිවරයා ලෙස නිමල් බෝපගේ පත් කිරීමට රජය විසින් ගෙන ඇතැයි පැවසෙන තීරණය සම්බන්ධයෙන් සිවිල් සමාජ ක්‍රියාකාරීන් දැඩි විරෝධයක් පළ කර තිබේ. යහපාලන සමයේ තොරතුරු දැනගැනීමේ පනත (RTI) ක්‍රියාත්මක කිරීමට බාධා කළ සහ මූල්‍ය වංචා චෝදනා ලත් පුද්ගලයෙකුට මෙවැනි වැදගත් තනතුරක් ලබාදීම “හොරකම, දූෂණය, වංචාව නැති සමාජයක්” පිළිබඳව වූ ජනාධිපතිවරයාගේ පොරොන්දුවට පටහැනි බව ඔවුන් පෙන්වා දෙයි.
සිවිල් සමාජ ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ, නිමල් බෝපගේ (බෝපගේ නිමලවීර) යහපාලන සමයේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කර ඇති අතර, එකල රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා සමඟ ඇති වූ ගැටුමක් හේතුවෙන් තොරතුරු පනතට අදාළ කමිටුවක් සඳහා වෙන් කළ ප්‍රතිපාදන නතර කිරීමට කටයුතු කළ බවයි. තොරතුරු පනතට බාල්දි පෙරළු පුද්ගලයෙකුට එම පනත ක්‍රියාත්මක කරන ආයතනයේ ප්‍රධානත්වය ලබාදීම පිළිබඳව ඔවුහු ප්‍රශ්න කරති.
මීට අමතරව, බෝපගේට එරෙහිව බරපතළ මූල්‍ය වංචා චෝදනා එල්ල වී තිබේ. 2010-2012 කාලය තුළ මානව සම්පත් සංවර්ධනය කිරීමේ ශ්‍රී ලංකා ජාතික සභාවේ (NHRDC) සභාපතිවරයා ලෙස කටයුතු කරද්දී සිදු වූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් දූෂණ විරෝධී පෙරමුණ විසින් පැමිණිලි කර ඇති අතර, මෙම චෝදනා COPE කමිටුවේ අවධානයට ද ලක් වී තිබේ. 2014 නොවැම්බරයේදී COPE කමිටුව විසින් නීතිපතිවරයාගෙන් මේ පිළිබඳ කරුණු විමසා ඇති අතර, එවකට නීතිපති යුවංජන විජයතිලක විසින් 2015 අගෝස්තු මාසයේ දී මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කරන ලෙස නිර්දේශ කර ඇත. ඒ අනුව 2016 මාර්තු මාසයේදී නාරාහේන්පිට පොලීසියට පැමිණිලි කර ඇති අතර, පසුව එය වැල්ලවත්ත පොලීසියේ මූල්‍ය වංචා විමර්ශන ඒකකයට යොමු කර ඇත. එහෙත් මේ වන තෙක් එම විමර්ශන සම්බන්ධයෙන් කිසිදු ප්‍රගතියක් සිදුවී නොමැති බව වාර්තා වේ.
සිවිල් සමාජ ක්‍රියාකාරීන් විසින් පෙන්වා දෙන ලද ප්‍රධාන චෝදනා කිහිපයක් පහත දැක්වේ:
- “විරැකියාවෙන් සුරැකියාවට” වැඩසටහනේ අක්‍රමිකතා: අනුරාධපුර දිස්ත්‍රික්කයේ රැකියා විරහිත තරුණ තරුණියන් පෞද්ගලික අංශයේ රැකියාවලට යෙදවීමේ අරමුණින් දියත් කළ මෙම වැඩසටහන සඳහා රුපියල් ලක්ෂ 07ක් ඇස්තමේන්තු කර තිබියදී රුපියල් මිලියන 2.3කට ආසන්න මුදලක් වැය කර ඇති අතර, කිසිදු ප්‍රතිඵලයක් අත් වී නොමැත. බාහිර උපදේශකයෙකුට අනුමතියකින් තොරව මිල අධික ලෙස ගෙවීම් සිදු කර ඇත.
- ව්‍යාපෘති අතහැර දැමීම්: “මානව සම්පත් සංවර්ධන වසරට” අදාළව දියත් කළ “නිපුණතා සඳ” නමින් වූ රූපවාහිනී ගායනා තරගය සඳහා රුපියල් මිලියන 3කට අධික මුදලක් වැය කර පසුව එම ව්‍යාපෘතිය අතහැර දමා තිබීම.
- දත්ත ගබඩා නිර්මාණය: ශ්‍රී ලංකාවේ රැකියා විරහිතයින්ගේ දත්ත ගබඩාවක් නිර්මාණය කිරීම සඳහා ප්‍රසම්පාදන පටිපාටියෙන් බැහැරව මහජන මුදල් වියදම් කිරීම.
- පොත් මුද්‍රණය: මානව සම්පත් සංවර්ධනය කිරීමේ ශ්‍රී ලංකා ජාතික සභාව නමින් පොතක් මුද්‍රණය කිරීමට මුදල් වියදම් කර එම ව්‍යාපෘතිය අසාර්ථක වීම.
- ප්‍රචාරණ කටයුතු සඳහා මුදල් අවභාවිතය: මානව සම්පත් සංවර්ධනයට වෙන් කළ රුපියල් මිලියන 30න් රුපියල් මිලියන 19ක් වැය කර ඇති අතර, ඉන් රුපියල් මිලියන 10ක්ම “ප්‍රචාරණ කටයුතු” සඳහා වියදම් කර තිබීම. මෙම මුදලින් රුපියල් මිලියන 05ක්ම තමන්ගේම පෞද්ගලික ලිපිනයේ ලියාපදිංචි කරන ලද ආයතනයකට ලබා දී තිබීම.
මෙම චෝදනා සමග, රුපියල් කෝටි 10කට අධික මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනයක් ඉල්ලා සිටි පුද්ගලයෙකුට තොරතුරු කොමිසමේ සභාපතිත්වය ලබා දීම, වත්මන් රජයේ “පිරිසිදු ශ්‍රී ලංකාවක්” ගොඩනැගීමේ ප්‍රතිපත්තියට කිසිසේත් නොගැලපෙන බව සිවිල් සමාජ ක්‍රියාකාරීහු අවධාරණය කරති.
ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ මෙම පත්වීම වහාම නැවත සලකා බලන ලෙසයි. එසේ නොවුණහොත්, “සාරුව සුනිල් ලියනගේට කාන්තා කටයුතු අමාත්‍යාංශයත්, කෙහෙළියට යළි සෞඛ්‍ය අමාත්‍යාංශයත්, අර්ජුන් මහේන්ද්‍රන්ට මහබැංකුවත් බාර දීමට මෙය සමාන වන” බවට ඔවුහු අනතුරු අඟවති.