පාස්කු ප්‍රහාරය යළි රාජපක්ෂලා බලයට ගෙන ඒම සඳහා කරන ලද දේශපාලන අපරාධයක්!

පාස්කු ප්‍රහාරය හුදකලා සිදුවීමක් නොවන බවත්, එය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට නැවත බලයට ඒම සඳහා දියත් කරන ලද “දේශපාලන අපරාධයක්” බවත් පාර්ලිමේන්තු සභානායක, අමාත්‍ය බිමල් රත්නායක අද (ජූලි 9) පාර්ලිමේන්තුවේදී ප්‍රබල ප්‍රකාශයක් කළේය.

ඔහු අවධාරණය කළේ, 2015 දී රාජපක්ෂවරුන් පරාජය වීමෙන් පසු රටේ බලතුලනය ඔවුන්ට වාසිදායක ලෙස වෙනස් කිරීමට උත්සාහ කළ බවයි. “ඔවුන් මේ තත්ත්වය නිර්මාණය කළේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා අතර දේශපාලන ප්‍රතිවිරෝධයක් ඇති කිරීම හරහා,” ඔහු පැවසීය. සිරිසේනගේ දෙවන ධුර කාලයක් සඳහා වූ උත්සාහයත්, වික්‍රමසිංහගේ “තුච්ඡ දේශපාලනය”ත් මේ තත්ත්වය තවත් උග්‍ර කළ බව රත්නායක මහතා චෝදනා කළේය.


“ජාතිවාදී කණ්ඩායම් බුද්ධි අංශ මගින් පවත්වාගෙන ගියා”

පාස්කු ප්‍රහාරය සඳහා පසුබිම සකස් කිරීම 2013 තරම් ඈතට දිව යන බව අමාත්‍යවරයා සඳහන් කළේය. “2013 ඉඳලා ජාතිවාදී සිංහල සහ ජාතිවාදී මුස්ලිම් කණ්ඩායම් වෙනම බුද්ධි අංශ මාර්ගයෙන් හදලා පවත්වාගෙන ගියා.”

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, මෙම තත්ත්වය “අන්ත මුස්ලිම් මිනිහෙක්ට ලංකාවේ ඉපදිච්ච එක පාපයක්, සාපයක් හිතෙන විදිහේ මානසිකත්වයක්” නිර්මාණය කළ බවයි. “ඒ මුස්ලිම් විරෝධය ගොඩනැගුවා. ඔය ISIS ප්‍රහාරයට කලින් තිබුණා. ඒක තමයි ඇත්ත.”

“ජාතික ආරක්ෂාව බිංදුවට දාපු නායකයෝ”

ප්‍රහාරය වළක්වා ගැනීමට අවස්ථා තිබූ බවත්, බුද්ධි අංශ, ආරක්ෂක අංශ සහ පොලීසිය ශක්තිමත් නම් එය වැළැක්විය හැකිව තිබූ බවත් බිමල් රත්නායක පෙන්වා දුන්නේය. “සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ කරපු ලොකුම අපරාධය තමයි මේ රටේ ජාතික ආරක්ෂාව බිංදුවට දැමීම,” ඔහු දැඩි ලෙස චෝදනා කළේය.

ප්‍රහාරය පිළිබඳව බුද්ධි තොරතුරු අනූවකට වඩා ලැබී තිබුණද ඒවා නොසලකා හැරීම සම්බන්ධයෙන් ඔහු හිටපු පාලනයට දොස් පැවරීය. “අද මේ මාතෘභූමිය විඳින ආර්ථික අර්බුදයත් මෙතැනින් තමයි පටන් ගත්තේ. සංචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම කඩා වැටුණා.”

පරීක්ෂණ යටපත් කිරීම සහ නිලධාරීන් දඩයම් කිරීම

පාස්කු ප්‍රහාරයෙන් පසු රනිල් – සජිත් ආණ්ඩුවට වසර එකහමාරක් පමණ බලයේ සිටියද නිසි පරීක්ෂණ සිදු නොකළ බව බිමල් රත්නායක චෝදනා කළේය. “තමන්ගේ ආණ්ඩුවෙන් ජාතික ආරක්ෂාව බිඳ වැටුණාට පස්සේ, තමන්ට කොච්චර වගකීමක් තියෙනවාද? තමන්ගෙන් වෙච්ච වැරැද්ද හදාගන්න.”

අමාත්‍යවරයා වැඩිදුරටත් චෝදනා කළේ, රාජපක්ෂ පාලන සමයේදී පරීක්ෂණ නිලධාරීන් දඩයම් කර සිරගත කළ බවත්, සාධාරණ පරීක්ෂණවලට බාධා කළ බවත්ය. “ශානි අබේසේකර කියන්නේ පාස්කු ප්‍රහාරයේ වික්ටිම් කෙනෙක්… රවී සෙනෙවිරත්න මැතිතුමා දාන්න කියලා කතෝලික ප්‍රජාව ඉල්ලීමක් කළා. මොකද කරේ? ඔබතුමාලා ගෝඨාභයලා දිනලා මේ මිනීමැරුම්.”

“මේක රට විනාශ කරපු, ජාතික ආරක්ෂාව බිංදුවට බස්සපු අසමත් කණ්ඩායමක්”

“මේක හතරක්, පහක් දෙනාගේ මිනීමැරුමක් විතරක් නෙමෙයි. මේක රට විනාශ කරපු, ජාතික ආරක්ෂාව බිංදුවට බස්සපු අසමත් කණ්ඩායමක්.” බිමල් රත්නායක තරයේ කියා සිටියේ, අද පරීක්ෂණ වාර්තා ගැන කතා කරන පිරිස්, “පරීක්ෂණ වාර්තා ඔක්කොම මැදමුලනේ ඉඳලා කුක් කරපුවා, ලියපුවා” බවයි.

නව රජය මාස හතක් තුළ දී පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ නැවත ආරම්භ කර ඇති බවත්, වගකිවයුත්තන්ට දඬුවම් දීමට කටයුතු කරන බවත් ඔහු අවධාරණය කළේය. “අපි හෘද සාක්ෂියේ සිදුරක් තියෙනවා මාතෘ භූමියේ. අපි මේ සිදුර උපරිම වශයෙන් පුරවලා මේ රටේ ක්‍රිස්තියානි, ඉස්ලාමීය ජනතාව, පොදු ජනතාව අතර සමගිය, සංහිඳියාව හදලා, ඔබතුමාලා අත්පුඩි ගහන දේශපාලඥයන්ගේ සැබෑ ගෝඩ්ෆාදර්ලව අනිවාර්යෙන්ම සිරගෙට යවනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart