සුරාබදු දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල්වරයා ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු පත් කිරීමට සුරාබදු වෘත්තීය සමිති එකමුතුව දැඩි විරෝධය පළ කරයි. ඔවුන් පෙන්වා දෙන්නේ, සුදුසුකම් සහිත නිලධාරීන් දෙපාර්තමේන්තුව තුළ සහ රාජ්‍ය පරිපාලන සේවය තුළ සිටියදී, දෙපාර්තමේන්තු ඉතිහාසයේ ප්‍රථම වරට බාහිර නිලධාරියෙකු පත් කිරීම ගැටලු සහගත බවයි.
වෘත්තීය සමිති එකමුතුව පෙන්වා දෙන්නේ, මීට පෙර මෙම තනතුරට පත් කර ඇත්තේ සුරාබදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු හෝ රාජ්‍ය පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු බවයි. එසේම, රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරියෙකු ප්‍රධාන තනතුරට පත් කිරීම සඳහා මීට පෙර ඇති කරගත් එකඟතාද මෙම පත් කිරීමෙන් කඩ වී ඇති බව ඔවුන් සඳහන් කරයි.
සුරාබදු වෘත්තීය සමිති එකමුතුව ජූලි 6 වැනි දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලා ඇත්තේ, නව සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුර සඳහා දෙපාර්තමේන්තු නිලධාරියෙකු පත් කරන ලෙසයි. මෙයට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ, දිගු කලක් තිස්සේ ක්ෂේත්‍රයේ අත්දැකීම් හා පලපුරුද්ද ඇති නිලධාරියෙකු පත් කිරීම තුළින් සුරාබදු ආදායම් ඉහළ නංවා ගත හැකි බවයි.
රාජ්‍ය පරිපාලන සේවයෙන් නිලධාරියෙකු පත් නොකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයෙන් කළ විමසීමකදී ඔවුන් කියා සිටියේ, ඉදිරි දින කිහිපය තුළදී මෙහි පවතින අසාර්ථකත්වය පිළිබඳව ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දෙන බවයි. මේ ආකාරයෙන් සුදුසුකම් නොමැති පුද්ගලයින් ආයතන සඳහා පත් කිරීම හරහා රාජ්‍ය සේවයේ ව්‍යුහය බිඳ වැටෙන බවද ඔවුන් පෙන්වා දෙයි.
නව සුරාබදු කොමසාරිස් ජනරාල් ලෙස පත් කර ඇති එම්.බී.එන්.ඒ. ප්‍රේමරත්න ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු වන අතර, ඔහු තඹුත්තේගම ප්‍රදේශයේ උපත ලබා ඇත. ඔහු ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ උප කුලපතිනිය සහ මාලිමා ජාතික ලැයිස්තුව නියෝජනය කළ ආචාර්ය වසන්තා සුබසිංහගේ ස්වාමිපුරුෂයාද වෙයි. ආචාර්ය වසන්තා සුබසිංහ මහත්මියද ජනාධිපතිවරයා විසින් එම තනතුරට පත් කරනු ලැබුවේ මීට දෙසතියකට පෙර බව වාර්තා වේ.