කොළඹ මහා නගර සභාවට අභිනවයෙන් නගරාධිපතිතුමියක් පත් විය. ඇය පත් කර ගැනීම සම්බන්ධ ක්‍රියාවලියේ දී ද, ජනතා විමුක්ති පෙරමුණේ ‘හොරුන් එක් කර නොගැනීමේ’ ප්‍රතිපත්තියට බරපතළ පැල්මක් ඇති කළේ ය. කෙසේ හෝ දැන් නගරාධිපතිනිය ව්‍රායි කැලී බල්තසාර් ය. ඇය ආපු හැටියේ නගරාධිපති නිල නිවස ආර්ථික කටයුතු සඳහා යොදා ගන්නා බවට වාර්තා රැසක් පල විය. මහජන බදු මුදලින් විශාල ගොඩනැගිල්ලක් පවත්වා ගෙන යනවා වෙනුවට එවන් ආදර්ශ සම්පන්න කටයුත්තක් සිදු කිරීමේ ගැටලුවක් නොමැත. එහෙත්; කොළඹ වැනි අතිශය දැවැන්ත මහා නගර සභාවක් මගින් සිදු කළ යුතු කාර්යභාරය අති විශාල බව නවකයෙක් වන බල්තසාර් නොදන්නවා වුව ද, ජනතා විමුක්ති පෙරමුණ නොදන්නවා විය නොහැකිය.
කාණුවල ගිලෙන කොළඹ: නොසලකා හරින ලද ඇල මාර්ග පද්ධතිය
නව නගරාධිපතිනියගේ අවධානය යොමු විය යුතු ප්‍රධාන ගැටලුවක් වන්නේ කොළඹ නගරයේ ඇල මාර්ග හා කාණු පද්ධතිවල පවතින අතිශය දුර්වල තත්ත්වයයි. වාර්තා වන පරිදි, නාරාහේන්පිට ඇළ සහ රාජගිරිය ඇළ මාර්ග ඇතුළු බොහෝ ඇල මාර්ග මේ වන විට කුණු කසළින් පිරී, දුර්ගන්ධය හමන වතුර වලවල් බවට පත් වී තිබේ. මාස ගණනාවක් පුරා නිසි නඩත්තුවක් නොමැති වීම මෙයට ප්‍රධාන හේතුවයි.
කොළඹ නගරයේ ඇල මාර්ග පද්ධතිය ප්‍රධාන වශයෙන් නිර්මාණය කර ඇත්තේ ගංවතුර පාලනය කිරීමේ අරමුණෙනි. එහෙත්, නිසි නඩත්තුවක් නොමැති වීම හේතුවෙන් මෙම ඇල මාර්ගවල රොන්මඩ, ප්ලාස්ටික්, කසළ සහ ජපන් ජබර වැනි දෑ තැන්පත් වී අවහිර වී ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස, වැසි ජලය නිසි පරිදි මුහුදට හෝ කැලණි ගඟට ගලා නොගොස් නගරය තුළම රැඳී පවතී. විශේෂයෙන් අධික වර්ෂාපතනයක් ඇති වන විට නගරයේ බොහෝ ප්‍රදේශ ගංවතුරෙන් යටවීමට මෙය ප්‍රධාන හේතුවක් වී තිබේ.
සෞඛ්‍ය හා ආර්ථිකයට බරපතල තර්ජන
ඇල මාර්ගවල ජලය එකතැන රැඳී සිටීම මදුරුවන් බෝවීමට කදිම පරිසරයක් නිර්මාණය කරයි. මෙය ඩෙංගු, චිකන්ගුන්‍යා, මැලේරියා වැනි මදුරුවන්ගෙන් බෝවන රෝග කොළඹ නගරය තුළ සීඝ්‍රයෙන් පැතිර යාමේ අවදානම ඉහළ නංවයි. ඊට අමතරව, කාර්මික අපද්‍රව්‍ය, රසායනික ද්‍රව්‍ය සහ මළ අපද්‍රව්‍ය ඇළ මාර්ගවලට මුදා හැරීම නිසා ජලය අධික ලෙස දූෂණය වී ඇත. මෙම අපිරිසිදු ජලය මිනිසුන්ට ස්පර්ශ වීමෙන් හෝ පානීය ජලයට මිශ්‍ර වීමෙන් උණ සන්නිපාතය සහ පාචනය වැනි ජලයෙන් බෝවන රෝග ඇතිවීමේ අවදානමක් ද පවතී.
ගංවතුර හේතුවෙන් දේපළ හානි සිදු වීම, ව්‍යාපාර කටයුතුවලට බාධා ඇතිවීම සහ සෞඛ්‍ය ගැටළු සඳහා ප්‍රතිකාර සඳහා යන වියදම් වැනි කරුණු නිසා ආර්ථික වශයෙන් ද කොළඹ නගරයට විශාල පාඩුවක් සිදු වෙයි. සමස්තයක් ලෙස, කොළඹ නගරයේ ඇල මාර්ග නඩත්තු නොකිරීම නගරයේ ජනතාවගේ සෞඛ්‍ය, ජීවන තත්ත්වය සහ ආර්ථිකයට සෘජුවම බලපාන බරපතල ගැටලුවක් බව පැහැදිලිය.
ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පත් වී දැන් මාස ගණනාවක් ගත වී තිබුණද, අවශ්‍ය කාර්යයන් අවශ්‍ය වේලාවට නොකිරීමේ දුර්වලතාවයෙන් ආණ්ඩුව පීඩා විඳින බව විශේෂයෙන් පෙනෙන්නේ අනවශ්‍ය වැඩ සහ කයිවාරු දිනපතා ආණ්ඩුව පාර්ශවයෙන් අසන්නට දකින්නට ලැබෙන බැවිනි. නව නගරාධිපතිනිය සහ වත්මන් රජය මෙම ගැටලු කෙරෙහි අවධානය යොමු කරමින් කඩිනම් විසඳුම් ලබා දෙනු ඇතැයි ජනතාව බලාපොරොත්තු වෙති.