ජනතා විමුක්ති පෙරමුණේ (JVP) නිර්මාතෘ රෝහණ විජේවීර ඝාතනයට සම්බන්ධ බවට තමාට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික ඉන්ද්‍රානන්ද ද සිල්වාට එරෙහිව විශ්‍රාමික මේජර් ජෙනරාල් අශෝක තෝරදෙණිය විසින් පවරනු ලැබූ නඩුව අද (ජූලි 15) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිෂ්ප්‍රභ කර තිබේ. තෝරදෙණිය විසින් ඉල්ලා සිටි වාරණ නියෝගයද අධිකරණය ප්‍රතික්ෂේප කළේය.
මේජර් ජෙනරාල් අශෝක තෝරදෙණිය, හමුදා සේවයේ නියුතුව සිටියදී රෝහණ විජේවීර ඝාතනයට සම්බන්ධ බවට ඉන්ද්‍රානන්ද ද සිල්වා විසින් චෝදනා කරනු ලැබූ අතර, ඊට එරෙහිව තෝරදෙණිය විසින් තම නම භාවිතා කිරීම වැළැක්වීමේ වාරණ නියෝගයක් ඉල්ලා මෙම නඩුව පවරා තිබුණි.
මාධ්‍ය හමුවේ ඉන්ද්‍රානන්ද ද සිල්වාගේ ප්‍රකාශය
නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මාධ්‍ය අමතා අදහස් දැක්වූ ඉන්ද්‍රානන්ද ද සිල්වා මෙසේ පැවසීය:
“රෝහණ විජේවීර ඝාතනය පිළිබඳව රූපවාහිනියට, සමාජ මාධ්‍යයට, පුවත්පත්වලට ප්‍රකාශ නිකුත් කිරීම තහනම් කරමින් මේජර් ජෙනරාල් අශෝක තෝරදෙණිය විසින් මට විරුද්ධව පවරා තිබූ නඩුව අද දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මා හට විරුද්ධව පැවැති සියලු චෝදනාවලින් මා නිදහස් කරනු ලැබුවා. මෙම නඩුව පවරා තිබුණේ මාර්ගගත ක්‍රමවල ආරක්ෂාව පනතෙන්.”
ඔහු වැඩිදුරටත් කියා සිටියේ, මෙම කරුණු වසර තිහකට පමණ කාලයක සිට රට ඉදිරියේ හෙළිදරව් කර ඇති බවත්, මෙය අලුතෙන් කියන කරුණක් නොවන බවත්ය. 1996 නොවැම්බර් මාසයේදී තමා සිරගෙදර සිට නීතිපතිවරයා වෙත යවන ලද දිවුරුම් පෙත්සමක් හරහා මෙම කරුණු සවිස්තරාත්මකව හෙළි කර ඇති බවද ඒ මහතා අවධාරණය කළේය.
“මුළු රට පුරා තිබිච්ච වධකාගාරවලට මම ඡායාරූප ශිල්පියෙක් ලෙස රාජකාරී වශයෙන් ගිහිල්ලා මරා දාපු අයගේ ඡායාරූප ගත්තු ඒවා. මගේ ඇස් ඉදිරියේ මම ඒ වගේ අය මරා දානවා ඒවා දැකපු ඒවා සියල්ල හෙළිදරව් කරලා තියෙනවා,” ඉන්ද්‍රානන්ද ද සිල්වා පැවසීය.
ඝාතකයන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීමක්
නඩුවෙන් තමා නිදහස් කිරීමෙන් පසු වත්මන් ආණ්ඩුවට අභියෝග කළ ඉන්ද්‍රානන්ද ද සිල්වා මහතා, රෝහණ විජේවීර ඝාතනයට සම්බන්ධ සියලු ඝාතකයන්ට නීත්‍යානුකූලව ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටියේය.
“දැන් බලයේ ඉන්නේ ඔහු (රෝහණ විජේවීර) නායකත්වය දීපු පක්ෂයේ වර්තමාන නායකයා. එතකොට වගකීමක් තියෙනවා තවදුරටත් කරදරින්නෙ නැතුව තමන්ගේ නායකයා අමු අමුවේ පණපිටින් මරලා දාපු මිනීමරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන්න කියලා,” ඔහු අවසාන වශයෙන් ප්‍රකාශ කළේය.