බූස්ස මිදිගම රුවන්ටද ? STF එකටද ?

බූස්ස අධිආරක්‍ෂිත බන්ධනාගාරයේ ආරක්‍ෂකව සඳහා අනුයුක්ත කර සිටින පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ඉන් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ප්‍රබල පාතාල කල්ලි නායකයකු බව කියන මිදිගම රුවන් ගොනු කර ඇති පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදෙන්නේ ද නැතිද යන නියෝගය ලබන සැප්තැම්බර් 1 වැනිදා නිකුත් කරන බව අභියාචනාධිකරණය ඊයේ ප්‍රකාශ කළේය.

බන්ධනාගාරයේ අභ්‍යන්තර කටයුතුවලට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් යොදවා ගැනීම සම්පූර්ණයෙන්ම නීතිවිරෝධී ක්‍රියාවක් බව පැවැසූ පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා බන්ධනාගාරයේ සිදුකරන වැටලීම් හා පරීක්‍ෂණවලට යොදා ගන්නා විශේෂ කාර්ය බළකා නිලධාරීන් අතින් රැඳවියන්ට දැඩි අමානුෂික හිරිහැරවලට ලක්වන බැවින් එම නිලධාරීන් බන්ධනාගාර තුළට ඇතුළුවීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.

නීතිපතිවරයා ප්‍රමුඛ වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ ශනිල් කුලරත්න මහතා විනිසුරු මඬුලෙ ඉල්ලා සිටියේ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ද පොලිසියේම කොටසක් වන බැවින් පෙත්සම්කරුගේ ඉල්ලීම මුල් අවස්ථාවේදීම ප්‍රතික්ෂේප කරන ලෙසයි.

දෙපාර්ශවයම ඉදිරිපත් කල කරුණු සලකා බැලූ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය හා ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඬුල්ල අදාල පෙත්සම විභාගයට ගන්නේද යන්න සම්බන්ධයෙන් තීරණය සැප්තැම්බර් 1 වැනිදා නිකුත් කිරීමට දින නියම කලහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart