පිටරටින් ඉන්ධන මිල දී ගැනීමේ මිල සූත්‍රය ඛනිජ තෙල් සංස්ථාව සෑම මාසයකම ප්‍රකාශයට පත් කල නමුත් පසුගිය අප්‍රේල් මාසයේ සිට එය ප්‍රකාශයට පත් කර නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.
ලංකාවට එන මුදල, ගොඩබෑමේ ගාස්තුව ආදි වශයෙන් ඒ අය කිරීම් ටික දානවා. නමුත් එය වෙබ් අඩවියේ දැන් දාන්නේ නෑ. ආණ්ඩුව විපක්ෂයේ සිටින විට කිවුවේ මේ තෙල්වලින් මෙච්චර මුදලක් ගහනවා. කංචන විජේසේකරගේ සාක්කුවට මෙච්චරක් යනවා කියලානේ. මේ ජූනි මාසයේ තෙල් ගොඩබෑමේ විස්තරය මං ළඟ තිබෙනවා. එහිදී ලෑන්ඩින් කොස්ට් එක 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයකට රුපියල් 161.18යි. ඒත් ඉන් රුපියල් 120.42ක් රජය බදු වශයෙන් ජනතාවගෙන් ගන්නවා යනුවෙන්ද දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පැවසීය.
මන්ත්‍රීවරයා මේ අදහස් පලකලේ ඊයේ පාර්ලිමේන්තුවේදී විවාදයකට එක්වෙමිනි. එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ ඕක තමයි කිවුවේ කංචන විජේසේකරගේ සාක්කුවට යනවා කියලා. ඒ වගේම අනෙක් 95 වර්ගයේ පෙට්‍රල් ගේන්න 154.39යි. ඊට බදු ගහනවා 145.29ක්. ඊළඟට ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් ගේන්න 185.67යි, ඒකෙන් බදු ගහනවා රුපියල් 97.47ක්. ලංකා සුපර් ඩීසල් ලීටරයක් ගේන්න රුපියල් 157.84යි, ඉන් බදු ගහනවා 120.67ක්. මේ බදු අඩු කරලා සහනය දෙනවා කිවුවා. හැබැයි කවදා ද මේ බදු අඩු කරලා සහනයක් දෙන්නේ. බදු අඩු කළොත් රුපියල් 161.18කට පෙට්‍රල් ලීටරයක් දෙන්න පුළුවන් කියාය.