විශ්‍රාමිකයන්ගෙන් ආණ්ඩුවට දොස්

රාජ්‍ය පරිපාලන අංක 44/90 චක්‍රලේඛය මගින් විශ්‍රාම ගැන්වූ පිරිසට හිමිවිය යුතු 90%ක වැටුප් ප්‍රතිශතය වසර විස්සක් තිස්සේ ලැබී නැතැයි රා.පරි.ච. අංක 44/90 විධිවිධාන අනුව විශ්‍රාම ගැන්වූවන්ගේ සංවිධානය කියා සිටියි.

1991.01.01 දින සිට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගිය පිරිසක් 2004 වර්ෂයේ සිට මෙම ගැටලුවට මුහුණ දී සිටින බව එහි පරිපාලන ලේකම් ටී. ලක්ෂ්මන් පීරිස් පැවසීය.

චක්‍රලේඛ අංක 06/2004, 2/2006, 16/2015, 14/2019(ඊ චක්‍රලේඛ යටතේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ප්‍රසිද්ධ කළ වැටුප් ප්‍රතිශත මගින් මෙම විශ්‍රාමිකයන්ගේ වැටුප් හිමිකම 80%ක් දක්වා අඩුකර ඇතැයි පරිපාලන ලේකම්වරයා සඳහන් කළේ ය.

1990.10.18 දිනැති රාජ්‍ය පරිපාලන අංක 44/90 චක්‍රලේඛය යටතේ 1991.01.01 දින සිට 2003.12.31 දක්වා මෙම විශ්‍රාමිකයන්ට 90% ප්‍රතිශතයකට වැටුප් හිමිවූ බව ද හෙතෙම ප්‍රකාශ කළේ ය.

දස වසරක සේවා කාලයක් සපුරා හා එහෙත් විසි වසරක සේවා කාලයක් සපුරා නොමැති විශ්‍රාමිකයන්ට 44/90 චක්‍රලේඛයෙහි විධිවිධාන හා නියමයන් අනුව අවසන් වරට ලබා සිටි මාසික වැටුපෙන් 90%ක ප්‍රතිශතකට හිමිකමක් ඇතැයි ඔහු කීය.

මෙම ගැටලුව සම්බන්ධයෙන් 2004 වසරේ සිට පැවති සෑම රජයක ම වගකිවයුතු නිලධාරීන්ට ලිපි 120කට වඩා යවා ඇතත් මේ දක්වා යහපත් ප්‍රතිචාරයක් ලැබී නැතැයිද ටී. ලක්ෂ්මන් පීරිස් පැවසීය.

වත්මන් රජයේ ජනාධිපති අනුර කුමාර දිසානායකට 2025.04.19 සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට 2025.04.26 දින ලිපි යවා මේ පිළිබඳ ඉල්ලීම් කළ බවද පරිපාලන ලේකම්වරයා සඳහන් කළේ ය.

මේ අතර, විශ්‍රාම වැටුප් යාවත්කාලීන කිරීමේදී එම ප්‍රතිලාභ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 44/90 යටතේ විශ්‍රාම ගත් නිලධාරීන්ට ද අදාළ කර ගනිමින් ඔවුන්ගේ විශ්‍රාම වැටුප සංශෝධනය කර තිබෙන බවත් එම අවස්ථාවලදී ඊට අදාළ චක්‍රලේඛයන්හි පොදු විධිවිධාන විශ්‍රාම ගිය නිලධාරීන් සියලු දෙනාට එක සේ අදාළ කර නොගැනීම තුළ ගැටලු ඇති විය හැකි බවත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

විශ්‍රාම වැටුප් සංශෝධනය කිරීම තුළ විශ්‍රාමික වැටුප් ඉහළ ගොස් ඇති බැවින් විශ්‍රාමිකයන්ට අවාසිදායක තත්ත්වයක් ඇතැයි නිරීක්ෂණය නොවන බව ද එම අමාත්‍යාංශය කියා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart