ආණ්ඩුවේ අලුත්ම රිවස් එක මෙන්න

ලංකාව පුරා විහිදී ඇති කිලෝමීටර් 1620ක් දිගැති වෙරළ තීරයේ ඇති අනවසර ඉදිකිරීම් ඉවත් නොකර, ඒවා තවදුරටත් පවත්වාගෙන යාමට අවසර දීමට වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

මේ සඳහා වාර්ෂික දඩ මුදලක් අය කර ගනිමින් වාර්ෂික බලපත්‍රයක් නිකුත් කිරීමට අවශ්‍ය නීති ප්‍රතිපාදන ගෙන එන බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, ලංකාව පුරා වෙරළ තීරයේ තුරුලතා මායිම් සීමාවේ ඉදිකරන ලද එවැනි අනවසර ඉදිකිරීම් 2000ක් පමණ ඇති බවයි. මෙම ඉදිකිරීම් අධිකරණ නියෝග ලබාගෙන ඉවත් කිරීමට උත්සහ කළහොත් විවිධ ගැටලු ඇතිවිය හැකි බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය. එබැවින්, මෙම නීතිය සංශෝධනය කරමින්, අවිධිමත් ලෙස සිදුකර ඇති ඉදිකිරීම් විධිමත් කිරීමට කටයුතු කරන බවත්, ඇතැම් අවස්ථාවලදී මෙම ඉදිකිරීම් සංචාරක කර්මාන්තයට ද සහය වන බවත් සඳහන් කළේය.

යෝජිත නව ක්‍රමවේදය යටතේ, අනවසර ඉදිකිරීම් සඳහා වාර්ෂිකව රුපියල් ලක්ෂ පහක (රු. 500,000ක් පමණ) දඩ මුදලක් ගෙවා ඒවා පවත්වාගෙන යාමට අවස්ථාව සැලසේ. මෙම දඩ මුදල ගෙවා ගැනීමට නොහැකි වුවහොත් අධිකරණ නියෝග මත අදාළ ඉදිකිරීම් ඉවත් කරයි. කෙසේ වෙතත්, මෙම සීමාවේ ඉදිකර ඇති නිවාස වැනි දෑ සම්බන්ධයෙන් මානුෂීය ලෙස සලකා සුළු දඩ මුදලක් හෝ වෙනත් පිළියමක් යෙදීමට කටයුතු කරන බව ද ඒහි අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය.

වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසන්නේ, මෙම කලාපය නියාමනය කිරීම ඔවුන්ට අයත් කාර්යයක් වන අතර, එක් එක් මුහුදු ප්‍රදේශ අනුව වෙරළ සීමාවේ සිට ඉදිකිරීම් සඳහා අවසර ලබා දෙන සීමාව වෙනස් වන බවයි.

අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේ, පෙර පැවති රජයයන් විසින් අවිධිමත් ලෙස අවසර ලබා දෙමින් වෙරළ තීරයේ ඉදිකිරීම් සිදුකර ඇති බවත්, ඉන් විධිමත් ලෙස අවසර ලබාගෙන ඉදිකිරීම් කටයුතු කරගෙන සිටි පුද්ගලයන්ට බලවත් අසාධාරණයක් සිදුවූ බවත්ය. තවද, දේශපාලන බලය, මුදල් හා ආයුධ බලය මත ඇතැම් පුද්ගලයන් වෙරළ තීරය අත්පත් කරගෙන අනවසර ඉදිකිරීම් කර ඇති බවට බොහෝ පැමිණිලි තම දෙපාර්තමේන්තුවට ලැබී ඇති බවත්, ඒවා ඉවත් කර ගන්නා ලෙස දැනුම් දී ඇති බවත් ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත්, මෙම සීමාව තුළ නව ඉදිකිරිම්වලට කිසිදු අවසරයක් නොදෙන බව වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා අවධාරණය කළේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart