පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සොයා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් රාජගිරියේ සඳහම් සෙවනට ගොස් ඇති අතර අදාළ අවස්ථාවේදී අතුරලියේ රතන හිමියන් එම ස්ථානයේ නොසිටි අතර උන්වහන්සේගේ ජංගම දුරකථනයද ක්‍රියාවිරහිත කර ඇති බව සැලවේ.
2020 වසරේ අපේ ජනබල පක්ෂයේ මහලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් ලියකියවිලිවලට අත්සන් ගෙන, පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබා ගැනීම සම්බන්ධ සිද්ධියක් පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) විමර්ශනයක් ආරම්භ කර ඇත.
මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු දැනටමත් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන්ගෙන් එක් අයෙකු කටුවන, කිරිමානගොඩ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, විමර්ශනවලදී හෙළි වී ඇත්තේ ඔහු මීට පෙර කටුවන නන්දසීහ හිමි නමින් පැවිදිව සිටි අයෙකු බවයි. මෙම පැහැරගැනීම සිදුකර ඇත්තේ ඔහු සහ අනෙක් සැකකරු විසිනි.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ දුරකථන දත්ත විශ්ලේෂණය කිරීමේදී, සිද්ධිය සිදුවූ අවස්ථාවේදී අතුරලියේ රතන හිමියන් සහ සැකකරුවන් අතර අසාමාන්‍ය ලෙස දුරකථන සම්බන්ධතා පැවැත්වී ඇති බව අනාවරණය වී තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ සේවයෙන් පහකළ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කැඳවීමට නියමිත බවද වාර්තා වේ.
අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු පස්දෙනෙකු 2024 ජනවාරි 22 වන දින බෙලිඅත්ත අධිවේගී මාර්ග පිවිසුම අසලදී වෙඩි තැබීමකින් ඝාතනය වූ අතර, එය පාතාල කණ්ඩායම් අතර ගැටුමක් මත සිදුවූවක් බව පසුව අනාවරණය විය.