වසරේ මුල් මාස පහේදී අඩු වයස් දැරියන් 32ක් ගැබ්ගෙන!

 

මෙම වසරේ (2025) මුල් මාස පහක කාලය තුළදී පමණක් ලිංගික අතවරවලට ලක්වූ වයස අවුරුදු 18ට අඩු දැරියන් 32 දෙනකු ගැබ්ගෙන ඇති බව ජාතික ළමාරක්ෂණ අධිකාරිය නිකුත් කළ වාර්තාවක් මගින් හෙළි කරයි.

මෙම දත්තවලට අනුව, අඩු වයසින් ගැබ් ගැනීම් පසුගිය වසරවලට වඩා කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත. 2023 වසරේදී මෙවැනි ගැබ් ගැනීම් 11ක් වාර්තා වූ අතර, 2024 වසරේ ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ එම සංඛ්‍යාව 21ක් විය.

මෙම සංඛ්‍යාවලට නීතිවිරෝධී ගබ්සා කිරීම් පිළිබඳ තොරතුරු ඇතුළත් නොවන අතර, වාර්තා වූ සිදුවීම් පමණක් මෙයට ඇතුළත් වේ.

ජාතික ළමාරක්ෂණ අධිකාරියේ වාර්තාවට අනුව, මෙම වසරේ මුල් මාස පහ තුළදී ස්ත්‍රී දූෂණ සිදුවීම් 22ක්, අන්තර්ජාලය ඔස්සේ ඡායාරූප බෙදා හැරීමේ සිදුවීම් 63ක්, ලිංගික අතවර කිරීමට තැත් කිරීම් 216ක් සහ කණ්ඩායම් වශයෙන් දූෂණයට ලක් කිරීම් 85ක් වාර්තා වී තිබේ.

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතියේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙන්නේ, ප්‍රමුඛ පෙළේ පාසල් සිසුවියන් අතර පවා අඩු වයසින් ගැබ් ගැනීම සුලබ වී ඇති බවයි. ඔහු මෙයට හේතු ලෙස දක්වන්නේ:

පාසල් පද්ධතිය තුළ නිසි ලිංගික අධ්‍යාපන වැඩසටහන් නොමැති වීම.

ගුරුවරුන්, දෙමාපියන් සහ දරුවන් අතර ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් පවතින පරතරය.

කුඩා දැරියන් සහ තරුණියන් මෙවැනි තත්ත්වයන්ට ගොදුරු වන්නේ බොහෝ විට හිතවත් ඥාතීන් හෝ පෙම්වතුන් හරහා බවද ඔහු පවසයි. එවැනි තත්ත්වයන්ට පත්වන දැරියන් රැකබලා ගැනීම සඳහා සමාජ ආරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද ඔහු අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart