විභාග කොමසාරිස්ගෙන් දෙමාපියන්ට ඉල්ලීමක්!

 

අද (10) ආරම්භ වූ 2025 ශිෂ්‍යත්ව විභාගයෙන් පසු දරුවන්ගෙන් ප්‍රශ්න පත්‍රයට පිළිතුරු දුන් ආකාරය සම්බන්ධයෙන් විමසීමෙන් වළකින ලෙස විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි මහත්මිය දෙමාපියන්ගෙන් කාරුණික ඉල්ලීමක් කරයි.

අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය පැවසුවේ, ශිෂ්‍යත්ව විභාගය යනු එක් විභාගයක් පමණක් වන බැවින්, එය පදනම් කරගෙන දරුවන් පීඩනයට පත් කිරීමෙන් ඔවුන්ගේ ළමා කාලය විනාශ නොකරන ලෙසයි.

“දරුවන්ගේ හැකියාව වෙනස්. ඒ නිසා දරුවන් සංසන්දනය කරමින්, අද විභාගයට ලිව්වේ මොනවාද කියා සොයා බලා, වැරදි පිළිතුරු දී ඇත්නම් බැනීමට හෝ දඬුවම් කිරීමට යන්න එපා,” යනුවෙන් ඇය දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියාය.

විභාගයට මුහුණ දෙන සිසුන්ගේ හැකියාව අනුව පිළිතුරු සපයන බවත්, එම පිළිතුරු වැරදි වුවද, එය ඒ මොහොතේ දරුවාගේ හැකියාව පෙන්නුම් කරන බවත් ඇය අවධාරණය කළාය. “ළමා කාලය ආපසු ලබා ගත නොහැකි දෙයක්. මේ නිසා දරුවන්ගේ ළමා කාලය සතුටින් ගත කිරීමට ඉඩ දෙන්න,” යනුවෙන්ද විභාග කොමසාරිස්වරිය වැඩිදුරටත් සඳහන් කළාය.

මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,787කදී අයදුම්කරුවන් 307,951ක් පෙනී සිටින අතර, එයට විශේෂ අවශ්‍යතා සහිත දරුවන් 901ක් සහ බ්‍රේල් මාධ්‍යයෙන් විභාගයට පෙනී සිටින දරුවන් 12 දෙනෙකු ද ඇතුළත් බව ඇය කියා සිටියාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart