ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන සැප්තැම්බර් මාසයේදී ඇමරිකාවේ සහ ජපානයේ නිල සංචාර දෙකක නිරත වීමට නියමිත බව ජනාධිපති කාර්යාලය පවසයි.
ජනාධිපතිවරයා සැප්තැම්බර් 25 වන දින ඇමරිකාව බලා පිටත්ව යන්නේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමතීමටයි. සැප්තැම්බර් 24 වන දින පැවැත්වෙන මෙම සැසිවාරයේදී රජයේ විදේශ ප්‍රතිපත්තිය සහ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව ජනාධිපතිවරයා පැහැදිලි කිරීමට නියමිතය. මෙම සංචාරය අතරතුර, ඔහු ලෝක නායකයින් කිහිප දෙනෙකු ද හමුවීමට අපේක්ෂා කරයි.
ඇමරිකා සංචාරය අවසන් කර, ජනාධිපතිවරයා සැප්තැම්බර් 27 වන දින නිව්යෝක් සිට ජපානයේ ඔසාකා නගරයට පැමිණෙනු ඇත. ජපාන අග්‍රාමාත්‍ය ෂීගේරු ඉෂිබා මහතාගේ ආරාධනයකට අනුව මෙම සංචාරය සිදු කෙරේ. සැප්තැම්බර් 29 වන දින ජපාන අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා පවත්වන ජනාධිපතිවරයා, සැප්තැම්බර් 30 වන දින ජපානයේ නරුහිතෝ අධිරාජයා හමුවීමට ද නියමිතය.
මෙම සාකච්ඡාවල ප්‍රධාන අරමුණු වනුයේ ශ්‍රී ලාංකිකයන් සඳහා ජපානයේ රැකියා අවස්ථා ලබා ගැනීම සහ දෙරට අතර ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමයි. මෙම සංචාරය අතරතුර ජපානයේ පැවැත්වෙන 2025 එක්ස්පෝ ප්‍රදර්ශනයට ද ජනාධිපතිවරයා සහභාගී වන අතර, එහිදී පැවැත්වෙන ශ්‍රී ලංකා දින සැමරුම සඳහා ද එක්වීමට නියමිතය. මෙම ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, සංචාරක ව්‍යාපාරය, වෙළඳ සහ ආයෝජන ක්ෂේත්‍ර නියෝජනය කරන පිරිසක් සහභාගී වනු ඇත. මීට අමතරව, ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව ද හමුවීමට ජනාධිපතිවරයා අපේක්ෂා කරයි.