මෙවර පොළොන්නරුව දිස්ත්‍රීක්කය ඇතුළු මහවැලි බී හා සී කලාපවල යල කන්නයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ රජයේ වී අලෙවි මණ්ඩලය මගින් ආරම්භ කළ ද මෙතෙක් කිසිදු ගබඩාවකට වී ලැබී නොමැති බව වී අලෙවි මණ්ඩලයේ පොළොන්නරුව දිස්ත්‍රික් කාර්යාලය සඳහන් කරයි.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ රජයේ වී ගබඩා 12ක් මේ වනවිට විවෘතව තැබෙන අතර ඉකුත් 15 වෙනිදා සිට එම ගබඩා විවෘත කළ බවත්, මෙතෙක් කිසිදු ගොවි සංවිධානයක් හෝ ගොවියකු වී අලෙවි මණ්ඩලයට වී ලබාදී නොමැති බව වී අලෙවි මණ්ඩලයේ පොළොන්නරුව දිස්ත්‍රික් කළමනාකාර නිමල් ඒකනායක සදහන් කරයි.
ගොවීන්ගේ මෙවර යල කන්නයේ අමු සහ වියළි වී මිලදී ගැනීමට රජය මුදල් ප්‍රමාණවත් තරම් වෙන්කර තිබුණද පෞද්ගලික වෙළඳපොලේ තරගකාරී අයුරින් වෙළෙඳුන් වී මිලදී ගැනීමේ කටයුතු සිදු කරන බැවින්, ගොවීන් මණ්ඩලයට වී ලබාදීමට මැලිකමක් දක්වන බවද දිස්ත්‍රික් කළමනාකාරවරයා පවසයි.
මේ වනවිට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පෞද්ගලික වෙළඳුන් අමු නාඩු වී කිලෝවක් රුපියල් 98 ත්100 ත් අතර මිලකටත්, වියලි නාඩු කිලෝවක් 125 ත් 130 ත් අතර මිලකට ලබාගන්නා අතර ඔවුන් කුඹුරටම පැමිණ එලෙස වී ලබාගැනීම නිසා තමන් රජයේ සහතික මිලට වී රජයට ලබාදීම ප්‍රතික්ෂේප කරන බවත්, කාලය, ධනය, ප්‍රවාහන වියදම් වැය කරමින් රජයේ ගබඩාවලට වී ලබාදීම විශාල පාඩුවක් බවත් ගොවීහු සඳහන් කරයි.
මෙවර යල කන්නයේ සාර්ථක වී අස්වැන්නක් තිබුනද ප්‍රමාණවත් වී මිලක් නොමැති බව පවන ගොවීන් වී කිලෝවක් නිෂ්පාදනය කිරීමට රුපියල් 125 ක පමණ පිරිවැයක් දැරීමට සිදුවන බව පෙන්වා දෙති. වි කිලෝවක් සඳහා අවම තරමේ රුපියල් 150 සහතික මිලක් වත් නියම කරන්නේ නම් ගොවියාට යම් ලාභයක් ලබා ගැනීමට හැකි වන බව පොළොන්නරුව ඇතුළු මහවැලි බි හා සි කලාපවල ගොවීහු පවසයි.