දුම්රියේ බිලියනයක යකඩ හොරපාරේ

දුම්රිය දෙපාර්තුමේන්තුව භාවිතයෙන් ඉවත් කළ දුම්රිය මැදිරි ඇතුළු අබලි යකඩ මෙටි්‍රක්ටොන් 6,000 ක පමණ විශාල ප්‍රමාණයක් ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ප්‍රධාන පෙළේ යකඩ සමාගම් දෙකකට විකිණීමට සූදානම් වන බවට ශ්‍රී ලංකා වානේ සංස්ථාවේ මිලදී ගැනීමේ බලලත් නිලධාරියා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණි කර තිබේ.

මෙම යකඩ අළෙවි කිරීමට සම්බන්ධ ප්‍රසම්පාදන කමිටුව හෝ ඇගයිම් කමිටුව අසම්පූර්ණ ඉල්ලුම්පත් සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැතිව වැරදි ලේඛණ සහිතව දෙපාර්තුමේන්තුවට පාඩු වන මිල ඉදිරිපත් කළ සමාගම්වලට අඩුපාඩු සහිත ලේඛණ යළි නිවැරදි කරගැනීමට අවස්ථාවක් දී තිබෙන බව ද එම පැමිණිල්ලේ සඳහන් වේ.

දුම්රිය දෙපාර්තුමේන්තුවේ ඉහළ නිලධාරීන් සහ ප්‍රසම්පාදන අංශ නිලධාරීන් මෙම උත්සහායේ නිරතව සිටින බවත් දුම්රිය දෙපාර්තුමේන්තුව සතු අබලි යකඩ පුද්ගලික අංශය වෙත විකිණීමට අදාල ප්‍රසම්පාදන ක්‍රියාවලිය පසුගිය ජුලි මාසයේදී ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීමක් හරහා ආරම්භ කළ අතර එම ටෙන්ඩර් සදහා ඉදිරිපත් වූ සමාගම් ඉදිරිපත් කළ ලේඛණ පසුගිය මස 23 වැනිදා විවෘත කළ බවත් එම පැමිණිල්ලේ සඳහන් වේ.

එහිදි සමාගම් 11 ක් ප්‍රසම්පාදනයට අදාල ලේඛණ සහ ඉල්ලුම්පත් ඉදිරිපත් කර තිබුණු අතර ඒ අතරින් සමාගම් දෙකක් ප්‍රසම්පාදනයෙන් ප්‍රතික්ෂේප වන ආකාරයට කර්මාන්ත සංවර්ධණ මණ්ඩලයේ සත්‍ය ලේඛණ සහ මිල ගණන් ඉදිරිපත් කිරීමේදී සියයට 18 ක එකතු කළ අගය මත බදු අගයන් ඉදිරිපත් කර නොමැති බව නිරික්ෂණය වී ඇති බව ද ඔවුහු පවසති.

මෙම තත්වය මත නිවැරදි ලෙස මිල ගණන් සහ ලේඛණ ඉදිරිපත් කර තිබූ සමාගම්වලට අවස්ථාව අහිමි වන අතර රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශමාලාවට අනුව ටෙන්ඩර් විවෘත කළ පසු ටෙන්ඩර් පත්‍රිකාවල හිස්තැන් පිරවීමට ප්‍රසම්පාදන කමිටුවට බලයක් නැති අතර මෙම ටෙන්ඩරය රුපියල් මිලියන 1,000 කට වැඩි වීම මත පෙර සුදුසුකම් නිරීක්‍ෂණය බලධාරීන් අනිවාර්යෙන්ම සිදුකළ යුතු බවත් දුම්රිය වෘත්තිය සමිති පවසයි.

– Lankadeepa

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart