රඳවා ගත් වාහන රැඳවුම් ගාස්තු චීනෙට

තෙවැනි පාර්ශ්ව රටකදී ණයවර ලිපි (Letter of Credit) විවෘත කිරීම මඟින් ආනයන කොන්දේසි උල්ලංඝනය කර ඇති බවට රේගුව චෝදනා කරමින් ආනයනික වාහන 1000ක් පමණ රඳවා තබාගෙන ඇතැයි වාහන ආනයන කරුවෝ චෝදනා කරයි.

වාහන ආනයනකරුවන් පවසන පරිදි, රේගුව විසින් මැයි 27 වැනිදා සිට තෙවැනි පාර්ශ්ව රටකදී ණයවර ලිපි විවෘත කර ඇති වාහන නිදහස් කිරීම අත්හිටුවා ඇත.

මෙම වාහන සඳහා වන ප්‍රමාද ගාස්තු මේ වන විට අතිශය ඉහළ මට්ටමකට පැමිණ ඇති අතර, රජය විසින් තීරණයක් ගන්නා විට එම ගාස්තු පාරිභෝගිකයාට දැරිය නොහැකි වනු ඇතැයි ආනයනකරුවෝ පෙන්වා දෙති.

විශේෂයෙන්, හම්බන්තොට වරායේ රඳවා ඇති වාහන සඳහා අය කෙරෙන ප්‍රමාද ගාස්තු ලැබෙන්නේ ශ්‍රී ලංකා රජයට නොව චීන රජයට බවද ඔවුහු ප්‍රකාශ කරති.

රේගුවේ වාහන සිරවී තිබීම හේතුවෙන් වෙළෙඳපොළේ වාහන සැපයුම පහළ බැස ඇති අතර, එමඟින් වෙළෙඳපොළේ පවතින වාහනවල මිල ඉහළ යෑමේ අවදානමක් පවතී. මෙම තත්ත්වය අවසානයේදී පාරිභෝගිකයාට සෘජුවම බලපාන බව ආනයනකරුවෝ පෙන්වා දෙති.

ආනයනකරුවන් පවසන පරිදි, බොහෝ දෙනා දැනටමත් ණයවර ලිපි සඳහා මුදල් ගෙවා අවසන් කර ඇති අතර, වාහන නිදහස් කිරීම සඳහා විශාල නැව් ගාස්තුද ගෙවා ඇත. මෙම පිරිවැය අවසානයේදී ආනයන පිරිවැයට එකතු වේ.

මෙම ගැටලුවට ප්‍රායෝගික විසඳුමක් ලබා දෙන ලෙස ආනයනකරුවෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. ගැටලුවට නිසි විසඳුමක් නොලැබීම හේතුවෙන් බොහෝ පාර්ශ්වයන් මේ වන විට දැඩි අපහසුතාවට පත්ව සිටින බවද ඔවුහු අවධාරණය කරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart