පොලිස් සේවය තුළ සිටින ඇතැම් නිලධාරීන් පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධ වී සිටින බවට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ප්‍රකාශ කළේය. පොලිසිය තුළින්ම මත්ද්‍රව්‍ය මාෆියාවට සම්බන්ධ සියලු නිලධාරීන් සේවයෙන් පහ කිරීමට කටයුතු කරන බවත්, පළමුව පොලිස් දෙපාර්තමේන්තුව පවිත්‍ර කළ යුතු බවත් ඔහු අවධාරණය කළේය.
37 වන පොලිස්පතිවරයා ලෙස පොලිස් මූලස්ථානයේදී ඊයේ වැඩ භාරගැනීමෙන් පසු මාධ්‍ය අමතමින් පොලිස්පතිවරයා මේ බව කියා සිටියේය.
ඔහු තවදුරටත් කියා සිටියේ, විදේශගතව සිට මෙරට අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන “නිවට අපරාධකරුවන්” පිරිසක් සිටින බවයි. මොවුන්ට දේශපාලන රැකවරණය දුන් අයගේ සහාය ඇතිව ත්‍රිවිධ හමුදා සාමාජිකයන්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් සහ ඇතැම් පොලිස් නිලධාරීන් සම්බන්ධ කර ගනිමින් ජාවාරම් හා අපරාධ සිදුකරන බවද ඔහු පැවසීය. මෙලෙස සිටි අපරාධකරුවන් 11 දෙනෙකු මේ වනවිට මෙරටට ගෙන්වාගෙන අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර ඇති බවද පොලිස්පතිවරයා සඳහන් කළේය.
මහජනතාවට පොලිසිය කෙරෙහි තිබූ විශ්වාසය යළි ගොඩනැගෙමින් පවතින බවත්, ඉදිරියේදී පොලිසිය පිළිබඳ අවිශ්වාසයක් ඇතිවීමට තමන් ඉඩ නොදෙන බවත් වීරසූරිය මහතා පැවසීය. යම් පොලිස් නිලධාරියෙකු අපරාධයක් කළහොත්, ඔහු අපරාධකරුවෙකු ලෙස සලකා අධිකරණයට ඉදිරිපත් කර විනය පියවර ගන්නා බවද ඔහු පැහැදිලි කළේය.
අපරාධ රැල්ල පාලනය කිරීමට පොලිසිය උපරිම උත්සාහයක් ගෙන ඇති බවත්, සාමාන්‍ය නීතිය යටතේ පාතාල හා මත්ද්‍රව්‍ය මර්දන මෙහෙයුම් සාර්ථකව කළ නොහැකි බැවින් ඒ සඳහා නව නීති ගෙන එන ලෙස මහජන ආරක්ෂක සහ අධිකරණ අමාත්‍යාංශ වෙත දැනුම් දී ඇති බවද ඔහු කීවේය. මහජන සහයෝගය නොමැතිව මෙම අපරාධ මැඩලිය නොහැකි බවත්, විනයානුකූල පොලිස් සේවයක් නිර්මාණය කිරීම තම අරමුණ බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
මීට අමතරව, එල්.ටී.ටී.ඊ සංවිධානයට අයත්, යුද හමුදා කඳවුරුවලින් සහ පොලිස් ස්ථානවලින් සොරකම් කරන ලද ගිනි අවි පාතාලය අතර සංසරණය වන බව පොලිස්පතිවරයා හෙළි කළේය. පොලිසියෙන් අස්ථානගත වී ඇති ගිනි අවි සොයා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශන සිදුකරන බවද ඔහු ප්‍රකාශ කළේය.