බීමතින් රිය අනතුරක් සිදුකළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් පාදුක්ක පොලිස් ස්ථානයේදී කලහකාරී ලෙස හැසිරුණු හිටපු ප්රාදේශීය සභා මන්ත්රීවරයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධියට අදාළ රිය අනතුර ඊයේ (අගෝස්තු 15) පස්වරුවේ පාදුක්ක මාවත්ගම ප්රදේශයේදී සිදුව ඇත. එහිදී ත්රීරෝද රථයක් සහ මෝටර් රථයක් ගැටී තිබෙන අතර, අනතුරට හේතුවූ මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගැනීමට පොලිස් රථවාහන අංශයේ නිලධාරීන් කටයුතු කර ඇත.
මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් පොලිස් ස්ථානයට පැමිණි හිටපු සීතාවක ප්රාදේශීය සභා මන්ත්රීවරයා පොලිස් නිලධාරීන්ට බැණ වැදී තර්ජනය කර ඇත. ඔහු පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාට පහර දීමට උත්සාහ කර ඇති අතර, පොලීසිය දැඩි පරිශ්රමයක් දරා ඔහුව සිර මැදිරියට ඇතුළු කර තිබේ.
සැකකරු තමා අසනීප තත්ත්වයෙන් පසුවන බව පැවසීම හේතුවෙන් ඔහුව හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇත. කෙසේ වෙතත්, රෝහල තුළදී ද ඔහු කලහකාරී ලෙස හැසිරී ඇති බව වාර්තා වේ. ඔහුගේ පහරදීමෙන් තුවාල ලැබූ පොලිස් රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ද එම රෝහලේම ප්රතිකාර ලබයි.
අත්අඩංගුවට ගත් හිටපු මන්ත්රීවරයා හංවැල්ල, තුන්නාන ප්රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු සීතාවක ප්රාදේශීය සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්රීවරයෙකු වන අතර, පසුව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්රික් තරුණ කටයුතු ලේකම්වරයා ලෙසද කටයුතු කර තිබේ. රිය අනතුරට පත්වූ මෝටර් රථයේ රියදුරු මෙම සැකකරුගේ මිතුරෙකු වන අතර, ඔවුන් දෙදෙනා අනතුරට පෙර මත්පැන් පානය කර ඇති බවට පොලීසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත.
සැකකරු අද (16) වැලිසර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, පාදුක්ක පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.