ආණ්ඩුව මුදල් අච්චු ගහලා නැහැ

 

ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර සිටින්නේ ආණ්ඩුව විසින් කිසිසේත්ම මුදල් අච්චු ගැසීමක් සිදු කර නොමැති බවයි.

අද (අගෝස්තු 19) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ට්‍රිලියන 1.2ක මුදලක් වත්මන් ආණ්ඩුව යටතේ මුදල් අච්චු ගසා ඇති බවට ඇතැම් සංවිධාන සිදු කරන ප්‍රකාශ හිතාමතා හෝ නොදැනුවත්භාවය නිසා සිදු කරන ප්‍රකාශ බවයි.

දැනට පවතින නීතිමය තත්ත්වය අනුව ආණ්ඩුවට මුදල් අච්චු ගැසීමට හැකියාවක් හෝ ඉඩක් නොමැති බවත්, එබැවින් එසේ සිදු නොකළ බවත් ඔහු සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේ, මහ බැංකුව විසින් පාලනය කරන සංචිත මුදල් හරහා මුදල් ප්‍රසාරණය වීම සිදු වී ඇති බවත්, මෙය ආණ්ඩුව විසින් මුදල් නෝට්ටු අච්චු ගැසීමක් නොවන බවත්ය. එසේම, මෙම ප්‍රකාශ සම්පූර්ණයෙන්ම සමාජය නොමඟ යැවීමක් බවට ඔහු චෝදනා කළේය.

ශ්‍රී ලංකාවේ මේ වන විට සංචිත මුදල් ට්‍රිලියන 1.6ක් වන අතර, පුළුල් මුදල් සැපයුම ට්‍රිලියන 15කට ආසන්න වී ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. පුළුල් මුදල් සැපයුමේ මෙම වර්ධනය සිදු වී ඇත්තේ මහ බැංකුවේ මැදිහත් වීම නිසා මිස, ආණ්ඩුව මුදල් අච්චු ගැසීම නිසා නොවන බව ඔහු අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart