රජයට රුපියල් ලක්ෂ 17කට අධික මුදලක් පාඩු කළ බවට චෝදනා එල්ල වී ඇති හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාට සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ජයන්ත එදිරිසිංහට එරෙහි නඩුව සැප්තැම්බර් මස 7 වැනිදා පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (20) නියම කළේය.
කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා හමුවේ අද කැඳවූ මෙම නඩුවේදී, අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය විසින් අධිචෝදනා පත්‍රයට සංශෝධන එක් කිරීමට අවසර ඉල්ලා සිටි අතර, අධිකරණය ඊට අවසර ලබා දුන්නේය. අනතුරුව, එම නඩුවට අදාළ ලේඛන ඇතුළත් සංයුක්ත තැටියක් විත්තියේ නීතිඥවරුන්ට භාර දෙන ලදී.
මෙම නඩුව ගොනු කර ඇත්තේ 2014 වසරේ නොවැම්බර් 19 වන දින මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පදවි ප්‍රාප්තිය වෙනුවෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල් යොදාගෙන පුවත්පත් 11ක අතිරේක පළ කිරීම තුළින් රජයට රුපියල් 1,748,877.76ක පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙනි. මෙය දූෂණ විරෝධී පනත යටතේ වරදක් බවට අල්ලස් කොමිසම චෝදනා කරයි.
මෙහිදී විත්තියේ නීතිඥවරුන් සඳහන් කළේ, ඉදිරියේදී නඩුවට එරෙහිව මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි. අධිකරණය එය නඩු විභාගය ආරම්භයේදී ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන්නේය.
මෙම නඩුවේ ඉදිරි විභාගය සැප්තැම්බර් 7 වැනිදා පැවැත්වීමට නියමිතය