අවුරුදු 5ක් තුළ එක ළමා අපයෝජන නඩුවකටවත් අධිචෝදනා ගොනු කරලා නෑ

නීතිපති දෙපාර්තමේන්තුවේ වාර්ෂික වාර්තා අනුව 2019 සිට 2023 දක්වා කාලය තුළ ළමා අපයෝජනය සම්බන්ධ ගොනු 24,000කට ආසන්න සංඛ්‍යාවක් ලැබී තිබුණද, ඒ අතරින් එක් නඩුවකටවත් අධි චෝදනාවක් යොමු කර නොමැති බව අනාවරණය වී ඇත.

මෙම තත්ත්වය පිළිබඳව අදහස් දැක්වූ “ළමා අහිංසනයට තිත” සංවිධානයේ සභාපති වෛද්‍ය තුෂ් වික්‍රමනායක අවධාරණය කළේ, නඩු ඉක්මනින් විභාග නොවීම සහ නීති ක්‍රියාත්මක වීමේ ප්‍රමාදය නිසා ළමා අපයෝජනයට ලක් වූ දරුවන්ට යුක්තිය හිමි නොවීමේ විශාල අවදානමක් ඇතිව ඇති බවයි.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ වාර්තා අනුවත්, පසුගිය වසර දහයකදී ළමා අපයෝජන වාර්තා 30%කින් වැඩි වී ඇති අතර, පොලිස් වාර්තා අනුවද ළමා අපයෝජන බරපතල අපරාධ අතර හයවන ස්ථානයට පත්ව ඇත.

2004 සිට නීතිපති දෙපාර්තමේන්තුව යටතේ පිහිටුවා ඇති විශේෂ නමාරක්ෂණ අංශය මගින් මෙවැනි නඩු සක්‍රීයව විභාග කිරීමට නියමිතය. නමුත්, වාර්ෂික වාර්තා විශ්ලේෂණය කිරීමෙන් අනාවරණය වන්නේ, දහස් ගණන් ගොනු ලැබෙද්දී අවසන් වන්නේ ඉතාම අඩු ගණනක නඩු පමණක් යන තත්ත්වයයි.

ඉහත තත්ත්වය සම්බන්ධයෙන් විශේෂඥයන් පෙන්වා දෙන්නේ නඩු අවසන් කිරීමට අවුරුදු ගණනක් ගන්නා අතර,දරුවන් වැඩිවියට පත්වී එම සිදුවීම් පිළිබඳව සාක්ෂි දීමට උනන්දු නොවන තත්ත්වයක් ඇතිවන බවයි.

ඒ හේතුවෙන් බොහෝ නඩු අවසන් වන්නේ අහෝසිවීමෙන් බවද ඔවුන් අවධාරණය කළේය.

මේ පිළිබදව වෛද්‍ය තුෂ් වික්‍රමනායක වැඩිදුරටත් සඳහන් කළේ,

දේශපාලන නඩු වලට චූන් වෙන රටක අවුරුදු 5ක් තිස්සෙ එක ළමා අපයෝජන නඩුවකටවත් අධිචෝදනා ගොනු කරලා නෑ කියන්නෙ අපේ මිනිස්සු කොයි තරම් බංකොලොත්ද!!!

ඕගොල්ලො තාමත් හිතන්නෙ වංචා දූෂණ කියන්නෙ දේශපාලකයින් හඹා යාම කියල…ඕගොල්ලො තාමත් හිතන්නෙ රට බංකොලොත් වෙලා තියෙන්නෙ ආර්ථිකයෙන් කියලා…ඕගොල්ලො තාමත් හිතන්නෙ මිලියන 22ක් පුරවැසියන් ඉන්න 225ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉන්න රටක අකර්මණ්‍යතාවයට වෘත්තිකයාගෙ වගවීමක් නෑ කියලා…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart