අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයකට අදාළව තමන් අත්අඩංගුවට ගැනීමට නිකුත් කර ඇති වරෙන්තුව අවලංගු කරන ලෙස ඉල්ලා හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ ප්රතිශෝධන පෙත්සම ඊයේ (අගෝස්තු 28) කොළඹ මහාධිකරණයේ විභාගයට ගෙන ඇත. එහිදී අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල් ඇතුළු නිලධාරීන්ට නොතීසි නිකුත් කිරීමට අධිකරණය නියෝග කළේය.
කොළඹ මහාධිකරණ විනිසුරු ඉන්ද්‍රිකා කාලිංගවංශ මහත්මිය ඉදිරියේ මෙම පෙත්සම සලකා බැලූ අතර, අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් නොතීසි පමණක් නිකුත් කිරීමට තීරණය කළාය.
රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ, 2013 වසරේ ලැබුණු නිර්නාමික පැමිණිල්ලකට අනුව “වැලිගොව්වා” නෞකාව අවභාවිත කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විමර්ශන ආරම්භ කර ඇති බවයි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ, මෙම විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා දීමට ජූලි 02 වැනිදා කොමිසම හමුවට පැමිණෙන ලෙස දන්වා ලිපියක් ලැබුණ ද, උණ රෝගී තත්ත්වයක් නිසා තම සේවාදායකයාට එදින පෙනී සිටීමට නොහැකි වූ බවයි.
නීතිඥ ඉන්දතිස්ස මහතා පෙන්වා දුන්නේ, තම සේවාදායකයා විසින් ගොනු කළ අපේක්ෂිත ඇප පෙත්සමක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළ පසු, අල්ලස් කොමිසමේ ඉල්ලීමකට අනුව, නීතියට පටහැනිව සාක්ෂි මෙහෙයවීමකින් තොරව රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති බවයි. ඔහු චෝදනා කළේ, මෙය නීතියට පටහැනි ක්‍රියාවක් වන බැවින් එම වරෙන්තුව ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කළ බවයි.
කෙසේ වෙතත්, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (අගෝස්තු 29) දින අධිකරණයේ පෙනී සිටින ලෙසට නිකුත් කර ඇති නොතීසියකට අනුව, රාජිත සේනාරත්න මහතා අද දින අනිවාර්යයෙන්ම අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත බව ඔහුගේ නීතිඥවරයා මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.