රජරට විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙල (SLUG) සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල මට්ටමෙන් දැඩි විරෝධය පළ කරමින් මෙවර උළෙලට සහභාගී නොවන බව නිල වශයෙන් ප්‍රකාශ කර ඇත.
2025 සැප්තැම්බර් 04 වන දින නිකුත් කළ නිල ප්‍රකාශනයේදී, ශිෂ්‍ය සංගමය පෙන්වා දුන්නේ, රටේ දේශපාලන හා ආර්ථික තත්ත්වය මත ජනතාව දැඩි වශයෙන් අර්බුදයකට පත් වී සිටින අතර, අධ්‍යාපන ක්ෂේත්‍රය ද බරපතල බලපෑම් අත්විඳිමින් සිටින බවය.
ඉන් අතරතුර, කාන්තාවන්ට සහ දුප්පත් ජනතාවට දැඩි බලපෑම් සිදුකරන IMF මගින් ගෙන එන ආර්ථික වැඩසටහන් මගින් රටේ අනාගතය තවදුරටත් අවදානමට පත්ව ඇති බවත් සංගමය සඳහන් කර ඇත.
මේ ආර්ථික අර්බුදය තුළ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පවා පාඩු විඳින අතර, රජය උදාසීනව ක්‍රියා කරමින් සිසුන්ගේ මූලික අයිතිවාසිකම් කඩාකප්පල් කරන බවත් ප්‍රකාශනයේ දැක්වේ.
එසේම, SLUG ක්‍රීඩා උළෙල මෙවන් තත්ත්වයකදී පවත්වා ගැනීම අසාධාරණ බව පෙන්වා දෙමින්, සමාජය හා විශ්වවිද්‍යාල සිසුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා රජරට විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය මෙම විරෝධය පළ කළේ ය.
”ක්‍රීඩා උළෙල පැවැත්වෙන රජරට විශ්වවිද්‍යාල භූමියට පවතින මජර, දූෂිත දේශපාලන ක්‍රමය නියෝජනය කරන පාර්ශවය පැමිණීමෙන් රජරට විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමය දැඩි පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කරන අතර ඊට තරයේ විරුද්ධ වන්නෙමු” ලෙස එම ලිපියේ අවසානයේ රජරට විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති යොහාන් කවිශ්ක විසින් සදහන් කර ඇත.