ගතවූ කාලය තුළ පොලිසියේ 350කගේ වැඩතහනම්

 

මේ වසරේ ගතවූ මාස 10ක කාලය තුළ නීතිවිරෝධී ක්‍රියාවලට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන් 350කට ආසන්න පිරිසකගේ වැඩ තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. මෙම පියවර ගෙන ඇත්තේ පොලීසිය දේශපාලනීකරණයෙන් මුදා ගැනීමේ වැඩසටහනට සමගාමීව බව ද ඔහු සඳහන් කළේය.

කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේදී පැවති ආධුනික පොලිස් නිලධාරීන්ගේ විසිරයාමේ උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

“අතීතයේදී පොලිස් සේවය පිළිබඳ තිබුණේ එතරම් යහපත් චිත්‍රයක් නෙමෙයි. බොහෝ නිලධාරීන් පොලිස් සේවයේ අභිවෘද්ධිය වෙනුවෙන් කැප වුවත්, සුළු පිරිසකගේ අත්තනෝමතික ක්‍රියා හේතුවෙන් සමස්ත පොලීසියේ විනයට හානි සිදුවුණා,” අමාත්‍යවරයා පැවසීය. “අපේ ආණ්ඩුව බලයට පත්වන විට පොලිස් සේවය අධික ලෙස දේශපාලනීකරණය වී තිබුණා. අපගේ ප්‍රධානම ඉලක්කය වූයේ එය ස්වාධීන කිරීමයි. පසුගිය මාස 10 තුළ ඒ සඳහා දැඩි පියවර රැසක් ගනු ලැබුවා. එහි ප්‍රතිඵලයක් ලෙස මේ වන විට පොලිස් සේවය දේශපාලනයෙන් මුදවා ගැනීමට අපට හැකියාව ලැබී තිබෙනවා.”

අමාත්‍ය විජේපාල මහතා වැඩිදුරටත් කියා සිටියේ, අත්තනෝමතික හා නීතිවිරෝධී කටයුතුවල නිරත වූ පොලිස් නිලධාරීන් 350කට ආසන්න පිරිසක් මේ වන විට වැඩතහනමට ලක් කර ඇති බවයි. මෙම පියවර ගෙන ඇත්තේ පොලීසියේ විනය හා ගෞරවය ආරක්ෂා කර ගැනීම සඳහා බව ද ඔහු අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart