හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තුන්දෙනා සහ බෑනාට එරෙහිව ගොනු කර ඇති රු.97 මිලියනට අධික වත්කම් හා දේපළ අයථා ලෙස අත්පත් කරගත් බවට චෝදනා සම්බන්ධ නඩුව ලබන 15 වැනිදාට යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.
අද (10) කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහතා ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදී, අල්ලස් කොමිසමේ නීතිඥවරිය අධිකරණයට දැනුම් දුන්නේ විත්තිය ඉල්ලා සිටි ලේඛන ලබාදී ඇති බවය. කෙසේවෙතත්, විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා ඇතුළු නීතිඥවරුන් සඳහන් කළේ, ඉල්ලා සිටි ලේඛන සියල්ල මේ දක්වා ලබා නොදී ඇති බවය.
එමනිසා, විනිසුරුවරිය අල්ලස් කොමිසමේ නීතිඥවරියට නියෝග කළේ ලේඛන ලබා දී තිබේදැයි තහවුරු කර ඊළඟ දිනයේදී අධිකරණයට දැනුම් දෙන ලෙසය. අදාළ ලේඛන මෙතෙක් ලබා නොදුන්නා නම්, ඒවා විත්තිය වෙත ලබාදීමට කටයුතු කිරීමටද නියෝග කර ඇත.
අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කළ කාලසමාවේදී අයථා ලෙස බැංකු ගිණුම් ජීවිත රක්ෂණ ඔප්පු සහ වාහන අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල,ඔහුගේ බිරිඳ, දියණියන් තුන්දෙනා සහ බෑනාට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබේ.