නාමල්ගේ විවාහ උත්සවයේ විදුලි බිල නොගෙවීමට එරෙහි පෙත්සමක් විභාගයට

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ විවාහ උත්සවයේදී භාවිතා කරන ලද විදුලිය වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් මිලියන 2කට අධික මුදල නියමිත වේලාවට නොගෙවීම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයක් බව පෙන්වා නීතිඥවරයෙකු ගොනු කළ පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) අවසර දී තිබේ.

අග විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ විනිසුරු අචල වෙංගප්පුලි යන මඩුල්ල හමුවේ සිදු වූ නීති පරීක්ෂණයේදී, විදුලි ගාස්තු මේ වන විට ගෙවා අවසන් කර තිබුණද, ගෙවීම ප්‍රමාද කිරීම තුළින් මහජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව පෙත්සම්කරුගේ නීතිඥ තිෂ්‍ය වේරගොඩ පෙන්වා දුන්නේය.

අදාළ පෙත්සම ගොනු කර තිබේ නීතිඥ විජිත කුමාර විසින් වන අතර, වගඋත්තරකරුවන් ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු පිරිසක් නම් කර තිබේ.

සාමාන්‍ය මහජනතාවගේ කුඩා වටිනාකම්වලින් යුත් විදුලි බිල් පවා නියමිත වේලාවට නොගෙවූ විට ලංකා විදුලිබල මණ්ඩලය විදුලිය විසන්ධි කිරීම් සිදු කරන බවත්, එහෙත්, මෙතරම් විශාල විදුලි ගාස්තුවක් නියමිත වේලාවට අයකර ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු නොකිරීම බරපතළ වරදක් බවත්, ලංකා විදුලිබල මණ්ඩලයේ මෙම අසාමාන්‍ය ක්‍රියා කලාපය තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරු ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart