ලංකා විදුලිබල මණ්ඩලය කොටස්කර සමාගම් කිහිපයක් බවට පත්කිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින්, සේවක සේවිකාවන් තවත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සූදානම් බව වෘත්තීය සමිති නායකයන් ඊයේ (14) දින ප්‍රකාශ කළහ.
දැනටමත් “අකුරට වැඩ කිරීම” ක්‍රියාත්මක වන අතර, එයට සාදාරණ ප්‍රතිචාරයක් හෙට (16) වන විට නොලැබේ නම්, අනිද්දා (17) සිට සේවකයන් “ලෙඩ නිවාඩු වාර්තා කිරීම” ආරම්භ කිරීමට නියමිත බව ඔවුහු පවසයි.
ඊයේ දිනය පුරා වෘත්තීය සමිති විසිපහක විධායක සභා සාමාජිකයෝ වෙන වෙනම රැස්වී තීරණ ගෙන ඒවා ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනයට ඉදිරිපත් කර ඇත.
මේ අතර අද (15) පස්වරු 4.15 සිට සිදුවන විදුලිය බිඳ වැටීම් යාවත්කාලීන කිරීමේ සේවක මැදිහත්වීම සීමා කරන අතර, අමතර රාජකාරිවලින්ද ඉවත්වීමට තීරණය කර ඇත. ඉංජිනේරුවන්, තාක්ෂණ ශිල්පීන් ඇතුළු විවිධ අංශවල සේවකයින් විසිදහසකට ආසන්න පිරිසක් මේ වන විට මෙම වෘත්තීය සටනට එක්වී සිටින බවද සඳගන් වෙයි.
දිවයින පුරා රෝහල් ඇතුළු අත්‍යවශ්‍ය සේවා කටයුතු සඳහා සේවක මැදිහත්වීම තවදුරටත් එලෙසම ක්‍රියාත්මක වන අතර ලංකා විදුලිබල මණ්ඩලයේ ජනතා විමුක්ති පෙරමුණට අයත් වෘත්තීය සමිතිය වන ලංකා විදුලි සේවක සංගමය මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය වර්ජනය කර තිබේ. එම සංගමයේ හිටපු සභාපති කඩුවෙල මහ නගර සභාවේ නගරාධිපති රන්ජන් ජයලාල් කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසුවේ තමන්ට විදුලිබල මණ්ඩලයේ වැඩ අදාළ නැති බවය.