ශ්‍රී ලංකා වනසත්ව හා සොබාදහම් ආරක්ෂක සංගමය (WNPS) විසින් මන්නාරම් දූපතේ (Mandaitivu) යෝජිත යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ ව්‍යාපෘතියට එරෙහිව ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය දැඩි විරෝධය පළ කර තිබේ.
මෙම ව්‍යාපෘතිය නීති විරෝධී මෙන්ම පාරිසරික වශයෙන් දැඩි විනාශකාරී විය හැකි බව පෙන්වා දෙමින් ඔවුන් ඉදිරිපත් කළ කරුණු පහත පරිදි වේ:
මෙම භූමිය කඩොලාන ශාක, මුහුදු තෘණ පද්ධති සහ ලුණු වගුරු බිම්වලින් සමන්විත පාරිසරික වශයෙන් ඉතා සංවේදී කලාපයකි. එමෙන්ම මෙය මන්ඩතිව් රක්ෂිත වනාන්තරයට (Mandaitivu Forest Reserve) අයත් ප්රදේශයකි.
වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ පනත යටතේ අවශ්‍ය වන නීත්‍යානුකූල බලපත්‍ර ලබා නොගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇති බවට සංගමය චෝදනා කරයි.
මන්ඩතිව් යනු ස්වභාවික ගංවතුර රඳවා ගැනීමේ කලාපයකි. වර්ෂා කාලයේදී මෙම ප්‍රදේශය ජලයෙන් යටවන බැවින්, මෙහි මහා පරිමාණ ඉදිකිරීම් සිදු කිරීමෙන් අනාගතයේදී නඩත්තු පිරිවැය ඉහළ යාම සහ මහජන මුදල් නාස්ති වීම සිදුවිය හැකි බව පෙන්වා දී ඇත.
වනසත්ව හා සොබාදහම් ආරක්ෂක සංගමය අවධාරණය කරන්නේ තමන් යාපනය ප්‍රදේශයේ ක්‍රීඩා සංකීර්ණයක් ඉදිකිරීමට විරුද්ධ නොවන නමුත්, පාරිසරික නීති උල්ලංඝනය කරමින් මෙම සංවේදී දූපතේ එය ඉදිකිරීමට දැඩි ලෙස විරුද්ධ වන බවයි.
නොපමාව මෙම ව්‍යාපෘතියේ වැඩකටයුතු අත්හිටුවීමට පියවර ගන්නා ලෙසත්, පාරිසරික නීති උල්ලංඝනය කරමින් කටයුතු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට උපදෙස් ලබාදුන් පාර්ශවයන් පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසත්, ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින සංගමය, තිරසාර සංවර්ධන ප්‍රතිපත්තිවලට අනුකූලව කටයුතු කරන ලෙසට අදාළ පාර්ශවයන් වෙත උපදෙස් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියි.