ෆීනික්ස් කුරුල්ලා ෆීලික්ස් සමුගනී

ලෝක ප්‍රකට ඔස්ට්‍රියානු ස්කයිඩයිවර් කෙනෙකු වන ෆීලික්ස් බෝම්ගාට්නර් මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇඩ්‍රියාටික් වෙරළ තීරයේ පැරග්ලයිඩින් කරමින් සිටියදී හෝටල් තටාකයකට කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් ෆීලික්ස්ට ජීවිතය අහිමි විය.

නිර්භීත ගුවන් දස්කම් වෙනුවෙන් 2013 වසරේ දී නැෂනල් ජියෝග්‍රැෆික් හි ජනතා තේරීම් වික්‍රමාන්විතයා ලෙස නම් ලද ෆීලික්ස් මිය යන විට 56 වැනි වියෙහි පසුවිය.

කොළඹ සැලැස්ම කොළඹදී සැමරේ

රජය පුළුල් පරාසයක ආයතනික ප්‍රතිසංස්කරණ සිදු කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසයි. අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සැලැස්මේ 74 වන සංවත්සරය කොළඹදී පැවැති අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කලේය.

පොලිසිය, හමුදා සහ බුද්ධි සේවා අතර සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීම, නව නීති හඳුන්වා දීම, මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සංවිධාන අකර්මන්‍ය කිරීම සඳහා නවීන තාක්‍ෂණය උපයෝගී කර ගැනීම සහ බන්ධනාගාර පද්ධතිය තුළ දූෂණය තුරන් කිරීම සඳහා තීරණාත්මක පියවර ගණනාවක් මේ වන විට රජය ගනිමින් පවතින බව අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය.

කොළඹ සැලැස්මේ කවුන්සිලයේ සභාපති, ඇමරිකානු තානාපති ජූලි චුන්ග්, කොළඹ සැලැස්මේ මහලේකම් අතිගරු ආචාර්ය බෙන්ජමින් පී. රේස් යන මහත්ම මහත්මීන්ද මේ අවස්ථාවට එක්වූහ.

බන්ධනාගාර හවුස් ෆුල්

බන්ධනාගාරවල රඳවා සිටින රැඳවියන් ගණන 33,095ක් දක්වා ඉහළ ගොස් ඇති බව බන්ධනාගාර ආරංචි පවසයි. මෙම ගණනය කිරීම ඉකුත් 17 වෙනිදා සිදුකර ඇති අතර සියළුම බන්ධනාගාර උපරිම සීමාව ඉක්මවා ඇති බව සඳහන්.

වැඩිම රැඳවියන් පිරිසක් රඳවා සිටින්නේ වැලිකඩ බන්ධනාගාරයේයි. එම ගණන 3,557ක් වේ.එහෙත් එම බන්ධනාගාරයේ රඳවා තැබිය හැකි රැඳවියන් ගණන 750ක් බවයි. රැඳවියන් 625ක් රඳවා තැබිය හැකි කොළඹ මැගසින් බන්ධනාගරයේ මේ වන විට රඳවා සිටින රැඳවියන් ගණන 2,985කි.

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ද රැඳවියන් 2,426ක් රඳවා සිටින අතර, බන්ධනාගාර ආරංචි පැවසුවේ, එහෙත් එම බන්ධනාගාරයේ රැඳවිය හැකි රැඳවියන් ගණන 385ක් බවයි.

බන්ධනාගාර ආරංචි වැඩිදුරටත් පැවසුවේ , වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ රැඳවිය හැකි කාන්තා රැඳවියන් ගණන 220ක් වුවද මේ වන විට කාන්තා රැඳවියන් 561ක් එහි රඳවා සිටින බවයි .

 

සිංගප්පූරුවට සයිබර් ප්‍රහාරයක්!

සිංගප්පූරුවේ රාජ්‍ය ආයතන ඇතුලු ප්‍රධාන පද්ධති විශාල ප්‍රමාණයක් ඉලක්ක කරගනිමින් සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇත. විදෙස් මාධ්‍ය උපුටා දක්වන්නේ එරට ජාතික ආරක්ෂාව පිළිබඳ සම්බන්ධීකරණ අමාත්‍ය කේ ෂන්මුගම් මහතා මේ බව සනාථ කල බවයි.

අදාළ සයිබර් ප්‍රහාරය කළ පාර්ශවය UNC 3886 ලෙස හඳුනාගෙන ඇති අතර සිංගප්පූරුවේ ආරක්ෂක, දුරකථන සමාගම්, තාක්ෂණ සංවිධාන ඇතුළු තීරණාත්මක ක්ෂේත්‍රවල පද්ධති වලට ඉන් බලපෑම් එල්ල වී තිබේ.

මාස 06ට අලි මරණ 225ක්

මේ වසරේ ගතවූ කාලසීමාව තුළ වනඅලි 225ක් මියගොස් ඇති බව පරිසරවේදී නයනක රන්වැල්ල ප්‍රකාශ කරයි. ඊයේ දිනයේත් උතුරු දුම්රිය මාර්ගයේ, ගල්ලෑල්ල දුම්රිය ස්ථානයට ආසන්නයේ සුදු නෙළුම්ගම ප්‍රදේශයේදී කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ මීනගයා සීඝ්‍රගාමි දුම්රියේ වන අලියෙකු ගැටීම හේතුවෙන් වන අලියෙකු ජීවිතක්ෂයට පත්විය.

එම සිදුවීම සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු මට්ටමින් පරීක්ෂණයක් සිදුකරන බව වනජීවි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රංජන් මාරසිංහ ප්‍රකාශ කරයි.

රෙගේ ඇල්ෆා ගුවන් හමුදා පිටියට

රෙගේ දිනය සැමරීම වෙනුවෙන් රෙගේ ගායක ඇල්ෆා බ්ලොන්ඩි සහභාගීවන සජීව සංගීත ප්‍රසංගය අද සවස කොළඹ ගුවන් හමුදා පිටියේදී පැවැත්වේ. ජාත්‍යාන්තර රෙගේ දිනය වෙනුවෙන් පැවැත්වෙන මෙම ප්‍රසංගය සංගීතවත් කරනු ලබන්නේ සෝලාර්සිස්ටම් සංගීත කණ්ඩායමයි.

අයිවාරිකෝස්ට් රාජ්‍යයේ රෙගේ ගායකයකු වන ඇල්ෆා සේබේ අල්ලායේ, ‘ජෙරුසලම’,‘කොකෝඩි රොක්’ සහ ‘බි්‍රගේඩියර් සබාරි‘ වැනි ගීත සමගින්ලෝකය පුරා රසිකයන් ආකර්ෂණය කර ඇත.

බොබ් මාලේ වැනි කලාකරුවන්ගෙන් ද ඔහු සැලකිය යුතු ලෙස ආභාසය ලබා ඇති අතර, ජැමෙයිකාවේ ද වයිලර්ස් සමග පවා ගීත පටිගත කර ඇත.

බටහිර අප්‍රිකාවේ ගැඹුරු මූලයන් සහ ජැමෙයිකාවේ ප්‍රබල ආශ්වාදයක් ඇති ඇල්ෆා බ්ලොන්ඩිගේ ශබ්දය සාමය, එකමුතුකම සහ ආදරය පිළිබඳ ප්‍රබල පණිවිඩ ලබාදෙමින්ලොව පුරා මිලියන ගණනක් සංගීත ලෝලීන් ස්පර්ශ කරයි.

මෙම ප්‍රසංගය හරහා ශ්‍රී ලංකාව මහා පරිමාණයෙන් ගෝලීය විනෝදාස්වාදය සඳහා සූදානම් බවට ලෝකයට විශාල
පණිවිඩයක් ලබාදෙයි

ඇමරිකාවේ පිපිරීමක් පොලීසියේ 03ක් මරුට

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හී ප්‍රාන්ත ෂෙරීෆ් දෙපාර්තමේන්තුවේ පුහුණු මධ්‍යස්ථානයක සිදුවූ පිපිරීමකින් පොලිස් නිලධාරීන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

පිපිරීමට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

වාහන නැවැත්වීමේ ස්ථානයක මෙම පිපිරුම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගිණුම් 16ක පොට්ටනි ගැසූ සල්ලි

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම චෝදනා කරන්නේ, 2020 වසරේ සිට 2024 වසර දක්වා වූ සිව් වසරක කාලය තුළ කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී, සැක සහිත බැංකු ගිණුම් 16ක් ඔස්සේ මෙම අයථා වත්කම් උපයා ඇති බවය. මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා 43ක් යටතේ මෙම අධිචෝදනා ගොනු කර තිබේ.

හිටපු අමාත්‍යවරයාට අමතරව ඔහුගේ බිරිඳ වන කුසුම් ප්‍රියදර්ශනී, දියණියන් වන චමිත්‍රී ජයනිකා, චන්ද්‍රලා රමාලි, අමාලි නයනිකා සහ බෑනා වන ඉසුරු පුලස්ති බණ්ඩාර යන අයට එරෙහිව ද චෝදනා එල්ල වී ඇත.

මෙම චෝදනා ගැන විභාගය තවදුරටත් සිදුවන අතර
අල්ලස් කොමිසම ගොනු කළ නඩුවට අදාළව, ඔවුන් සියලු දෙනාට කොන්දේසි සහිත ඇප ලබා දීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය නියෝග කොට ඇත.

තිළිණි එක්ක වංගු ගහන පොලීසිය

තිලිනි ප්‍රියමාලි නමැති කාන්තාවකට අදාළ නඩුවක සිතාසි භාරදීමට යාමේදී එය ප්‍රතික්සේප කරමින් එම භාරදුන් පුද්ගලයාගේ සිතාසියේ පිටුපස යමක් ලියා එය පුද්ගලයාට දමාගසමින් ඉංග්‍රීසි හා සිංහල බසින් බැණවැදී අධිකරණ ක්‍රියාමාර්ගයක් හෑල්ලුවට ලක්කිරීම හා රාජකාරී නිලධාරියෙකුගේ සේවයට බාධා කිරීමේ සිදුවීමක් ගැන පසුගියදා වාර්තා විය.

මෙම සිදුවීමට අදාළ කට උත්තර දීමට පොලිසියට යන ලෙස තිලිනි ප්‍රියමාලිට අධිකරණ නියෝගයක් පසුගිය සතියේ නිකුත් කළද ඇය මේවනතුරු පොලිසියට පැමිණ නැතැයි සමස්ත ලංකා සිතාසි ක්‍රියාත්මක සංගමයේ හිටපු සභාපති ආර්.සුදත් පාලිත ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පවසා ඇත.

හෝමාගම දිසා අධිකරණයෙන් ලැබුණු නියෝගයක් අනුව විසි තුනයි නමසිය හතළිස් හත එම් එස් නඩුවට අදාළ සිතාසි භාර දීම සඳහා අපේ සිතාසි ක්‍රියාත්මක නිලධාරියෙක් විසින් තිලිනි පියුමාලි නමැති තැනැත්තියට භාර දීම සඳහා ගිය අවස්ථාවේ,මෙම සිදුවීම වී තිබෙන්නේ. ඇය අධිකරණය ඉදිරිපිටදී වෙනත් නඩුවකට මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණෙන බව දැක නිලධාරියා එම තැනැත්තියට සිතාසි භාර දීමට යෑමේදී,

අප නිලධාරියාගේ අනන්‍යතාව ඔප්පු කරලා හැඳුනුම්පත පෙන්නලා සියල්ල පෙන්වීමෙන් පසු සිතාසි භාර දීමට අවශ්‍ය බව ඇයට ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අවස්ථාවේදී ඇය සිතාසිය අතට අරගෙන එම සිතාසියේ උඩින්ම තියන පිස්කල් අණකළේ පිටුපස යම්කිසි කාරණා ටිකක් ලියලා, සිතාසි භාර ගැනීම ප්‍රතික්ෂේප කරලා, අපේ සිතාසි ක්‍රියාත්මක කරන්නාට බැන තර්ජනය කර නික්ම ගිහිල්ල තියෙනවා.

ඒ අවස්ථාවේ, ඉන් අනතුරුව අපගේ සිතාසි ක්‍රියාත්මක නිලධාරියා විසින් හෝමාගම දිසා අධිකරණයේ රෙජිස්ටාර් මේ ගැන දැනුවත් කිරීමෙන් පසු, දිසාපතිතුමා දැනුවත් කිරීමෙන් පසු, හෝමාගම පොලිස් ස්ථානයට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කරා.

පැමිණිලි ඉදිරිපත් කළාට පසුව පොලිසිය විසින් ඒ සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ කියන එක මේ අවස්ථාවේ කියන්න ඕන. මොකද පොලීසිය දහනම වෙනිදා වෙනකොට වාර්තා කරනවා අධිකරණය කරුණු වාර්තා කරලා, චූදිත ඉදිරිපත් නොකර, “බැන තර්ජනය කිරීමක් කරලා තියෙනවා” විතරක් සටහන් කළා.

නමුත් ඒ බැන තර්ජනය කිරීමක් විතරක් නෙමෙයි, අධිකරණයේ ලේඛනයක කිසිම පුද්ගලයකුට අයිතියක් නැහැ මේ වගේ සටහනක් දාන්න.

පුළුවන් ඇයට පුළුවන් අත්සන් කරලා, මේක පිටුපස ජාතික හැඳුනුම්පත් අංකය දාලා “සිතාසිය භාර ගනිමි” කියලා ලියන්න පමණයි. මේ වගේ කුරුටු ගී ලියන්නත් කිසිම අයිතියකුත් නෑ. රජයේ ලේඛණයක්, අධිකරණ ලේඛනයක්, ඒ වරදක්.

ඒ වගේම තමයි රාජකාරියට බාධා කිරීම. අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරීමට තමයි එම නිලධාරි ගියේ. අධිකරණ නියෝග ක්‍රියාත්මක කරන්න ගිය නිලධාරීන්ට රාජකාරි කරන්න දුන්න රාජකාරිය බාධා කළා. ඒ කිසිවක් සඳහන් නොකර, එම චෝදනා කිසිවක් සඳහන් නොකරයි පොලිසිය මේ වාර්තාව දාල තියෙන්නෙ අධිකරණයට.

එයින් ප්‍රතිඵලයක් නොවන බව දැනුණු අපේ සිතාසි ක්‍රියාත්මක කරන්නා විසින්, පෞද්ගලිකව නීතිඥ මහත්තයෙක් ලිපියක් මගින් මෝසමක් ඉදිරිපත් කරා. අධිකරණයට කරුණු කිව්වට පස්සේ විනිසුරුතුමිය නියෝගයක් නිකුත් කරනවා අවසාන වරට වාර්තා ඉදිරිපත් කිරීමට.

පසුගිය දින පොලිසිය අධිකරණයට පැමිණිලා කිසිම වැඩිදුර වාර්තාවක් නොමැතිව, ඇයගෙන් කිසිවක් සටහන් කරගන්න නැතුව අධිකරණයට ඉදිරිපත් කළා.

නමුත් විනිසුරුතුමිය ඒ අවස්ථාවේ දහහතරවැනි දා දිනට අනිවාර්යයෙන් පොලිසියට ගොස් ප්‍රකාශයක් පහුවදාම ප්‍රකාශ සටහන් කරගන්න කියලා නියෝග කළා. එදින ඇයගේ නීතිඥවරුන් පොරොන්දුවෙලා තියෙනවා පහුවදාම පොලිසියට ගිහින් ප්‍රකාශ සටහන් කර ගන්න කියලා. මේ වනතෙක් ඇය විසින් පොලිසියට ප්‍රකාශ සටහන් කරගන්න ගිහිල්ලත් නෑ. පොලිසිය මේ සම්බන්ධයෙන් කටයුතු කරලත් නෑ.

මේකෙදී හිතා මතාම හෝමාගම පොලිසිය විසින් බේරා ගැනීමක් කරලා තියෙනවා.

අපේ නිලධාරියාට සිදු වුණු අසාධාරණයට, රජයේ සේවකයෙක්, අධිකරණ කාර්යාලයේ වැඩකළ සිතාසි ක්‍රියාත්මක නිලධාරියෙක්, මේ වගේ කරනකොට පොලීසිය මැදිහත් නොවුණේ, කඩිනමින් ක්‍රියා නොකළේ ඇයි? ඒ හේතුව මම දන්නෑ.

ඇයට මොන තරම් බලයක් තියෙනවද කියලා මේ පොලිසිය ඇතුළේ මේ වගේ කටයුත්තක් කරගෙන යන්න, ඇය ප්‍රකාශ කර තිබුණා “මගේ ස්වාමි පුරුෂයා හිටියා නම් මං කවුද කියලා දැනගන්න පුළුවන්,” කියලා. ඇත්තටම අපිට දැන් දැන ගන්න බෑ ඇය කවුද කියලා. මොකද මෙච්චර සිදු වුණා කියලත් හෝමාගම පොලීසිය මේ මොහොතට ක්‍රියා කරපු ආකාරය සම්බන්ධයෙන් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන.

මේ මොහොත වන විට වත්මන් රජය ගැන ජනතාව දැඩි විශ්වාසයකින් යුතුව කටයුතු කරන්නේ, රටේ නීතිය හා සාමය ආරක්ෂා වෙලා, නීතිය හරියටම අපිට ක්‍රියාත්මක වෙනවයි කියලා දැඩි විශ්වාසයක් ජනතාවට තියෙනවා. මෙවැනි අවස්ථාවක මේ සුළුතර නිලධාරීන් නිසා පොලිසිය මෙවැනි කටයුතු කිරීමෙන් පැහැදිලි වන්නේ රජය අපහසුතාවට පත් කිරීමක්.

රජයට මේ කටයුත්ත කරගෙන යන්න නොදී ජනතාව අතරට මේ වැරදි අවබෝධයක් දෙන්න යනවද මේ පොලිස් නිලධාරීන් කියන එක සැකයක් මතුවෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ මොහොත වන විට අපේ අධිකරණ ඇමැතිතුමා නීති කෙටුම්පත් සම්පාදනය කරමින් වැරදි තැන් නිවැරදි කරගනිමින් විශාල වෙහෙසක් දරනවා. අධිකරණ අමාත්‍යතුමා මේ අවස්ථාවේ, එවැනි අවස්ථාවක හෝමාගම පොලීසිය මේ කටයුතු කරන ආකාරය කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ.

මම සමස්ත ලංකා සිතාසි ක්‍රියාත්මක කරන්නන්ගේ සංගමයේ හිටපු සභාපති වශයෙන් මේ කටයුත්ත අතිශයින් හෙළා දකිනවා.

‘ ක්ලැරන්ස් ‘ නිසා බිරිඳ ශීලා අවුලෙන්

ක්ලැරන්ස් විජේවර්ධන කලාකරුවාගේ ජීවිත කතාව පාදක කරගනිමින් නිර්මාණය වූ චිත්‍රපටය තුළින් තම සැමියාගේ සහ තමන්ගේ චරිත මෙන්ම දෙන්නා අතර ප්‍රේම වෘත්තාන්තයද බරපතළ ලෙස විකෘති කර ඇති බවට ක්ලැරන්ස් විජේවර්ධනගේ දයාබර බිරිඳ වන ශීලා විජේවර්ධන මහත්මිය ඕස්ට්‍රෙලියාවේ සිට චෝදනා කර තිබේ.

ඉරිදා ලංකාදීප පුවත්පතේ රසවින්දන අතිරේකයට අදහස් දක්වමින් ඇය පෙන්වා දෙන්නේ අදාළ චිත්‍රපටය සඳහා තමන්ගේ හෝ තම දියණියගේ අනුමැතිය දුන්නත් එයට පූර්ණ කැමැත්තක් නොමැති බවයි.

චිත්‍රපටයේ රූපගත කිරීම් වලින් සැලකිය යුතු කොටසක් අවසන් කිරීමෙන් අනතුරුව එහි පිටපතක් තමන් වෙත ලබාදී අනුමැතිය ලබා ගැනීමට එහි නිර්මාණකරුවන් කටයුතු කළ බව ඇය චෝදනා කරයි.

චිත්‍රපටයේ අන්තර්ගත සාවද්‍ය තොරතුරු හේතුවෙන් මහජනයා අතර තම පවුල අපකීර්තියට පත්වනු ඇතැයි සිය දියණිය වන අම්ලා විජේවර්ධන එහි අධ්‍යක්ෂවරයාට දැනුම් දුන් බවද ඇය හෙළි කළාය.

Add to cart