SLUG ක්‍රීඩා උළෙලට සහභාගී නොවීමට රජරට විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයෙන් දැඩි විරෝධයක්

රජරට විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙල (SLUG) සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල මට්ටමෙන් දැඩි විරෝධය පළ කරමින් මෙවර උළෙලට සහභාගී නොවන බව නිල වශයෙන් ප්‍රකාශ කර ඇත.

2025 සැප්තැම්බර් 04 වන දින නිකුත් කළ නිල ප්‍රකාශනයේදී, ශිෂ්‍ය සංගමය පෙන්වා දුන්නේ, රටේ දේශපාලන හා ආර්ථික තත්ත්වය මත ජනතාව දැඩි වශයෙන් අර්බුද‍යකට පත් වී සිටින අතර, අධ්‍යාපන ක්ෂේත්‍රය ද බරපතල බලපෑම් අත්විඳිමින් සිටින බවය.

ඉන් අතරතුර, කාන්තාවන්ට සහ දුප්පත් ජනතාවට දැඩි බලපෑම් සිදුකරන IMF මගින් ගෙන එන ආර්ථික වැඩසටහන් මගින් රටේ අනාගතය තවදුරටත් අවදානමට පත්ව ඇති බවත් සංගමය සඳහන් කර ඇත.

මේ ආර්ථික අර්බුදය තුළ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පවා පාඩු විඳින අතර, රජය උදාසීනව ක්‍රියා කරමින් සිසුන්ගේ මූලික අයිතිවාසිකම් කඩාකප්පල් කරන බවත් ප්‍රකාශනයේ දැක්වේ.

එසේම, SLUG ක්‍රීඩා උළෙල මෙවන් තත්ත්වයකදී පවත්වා ගැනීම අසාධාරණ බව පෙන්වා දෙමින්, සමාජය හා විශ්වවිද්‍යාල සිසුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා රජරට විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය මෙම විරෝධය පළ කළේ ය.

”ක්‍රීඩා උළෙල පැවැත්වෙන රජරට විශ්වවිද්‍යාල භූමියට පවතින මජර, දූෂිත දේශපාලන ක්‍රමය නියෝජනය කරන පාර්ශවය පැමිණීමෙන් රජරට විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමය දැඩි පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කරන අතර ඊට තරයේ විරුද්ධ වන්නෙමු” ලෙස එම ලිපියේ අවසානයේ රජරට විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති යොහාන් කවිශ්ක විසින් සදහන් කර ඇත.

නැගෙනහිර සරසවියේ සිසුන් 15 ක් සී. අයි. ඩී. යට

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුන් 15 දෙනෙක් ඊයේ (03) රාත්‍රියේ නවක වදය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ සිසුවියන් 06 දෙනෙකුත්, සිසුන් 09 දෙනෙකුත් වන අතර, ඔවුන් 21/22 අධ්‍යයන වර්ෂයේ ශිෂ්‍යාවන්ට අසභ්‍ය වචන භාවිතා කර බැන තර්ජනය කිරීම හා නවක වදය සිදුකිරීමේ අදාළ චෝදනා යටතේය.

අත්අඩංගුවට ගත් සිසුන් හා සිසුවියන් බණ්ඩාරවෙල, අතුරුගිරිය, ඇටම්පිටිය, කෝට්ටේ, ගල්අමුණ, ලුණුගම්වෙහෙර, අලහේනේගම, කන්තලේ, ගම්පොල, වතුරුගම, අඟුරුවාතොට, මීවනපලාන, පන්නිපිටිය, හුගස්තලාව සහ බණ්ඩාරගම යන ප්‍රදේශවල පදිංචි අය ලෙස හඳුනාගෙන ඇත.

කරාතේ වීසා පමාව විමර්ශනයක් ඇරඹේ

චීනයේ පැවැත්වෙන 2025 යොවුන් කරාතේ තරඟාවලිය සඳහා සහභාගී වීමට නියමිතව සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නියමිත කාලයට වීසා බලපත්‍රය සහ ගුවන් ටිකට්පත් ලබා නොදීම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කිරීමට ක්‍රීඩා අමාත්‍යංශය තීරණය කර තිබේ.

අදාළ ප්‍රමාදයන් නිසා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී මුහුණ දීමට සිදු වූ අපහසුතාවය පිළිබඳව කණගාටුව පළ කරන බවතරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය පවසයි.

ක්‍රීඩා තරඟාවලි සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිටත් කර හැරීමේ සම්පූර්ණ වගකීම අදාළ සංගමය සතු අතර නියමිත කාලය තුල දී වීසා බලපත්‍රය සහ ගුවන් ටිකට්පත් ලබාගැනීම සම්මෙලනයේ අදාළ බලධාරින්ගේ වගකීමක් වන බව ක්‍රීඩා අමාත්‍යංශය පවසයි.

මෙලෙස නොසැලිකිලිමත් ලෙස ක්‍රීඩකයන් අපහසුතාවයට පත්වන අයුරින් කටයුතු කිරීම පිළිබඳ අදාළ පර්ශවයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව අමාත්‍යාංශය කියයි.

මූලාශ්‍රය – ලංකාදීප

දැදුරු නයා ඇල්ලුවොත් තෑගි පිට තෑගි

දැදුරඔය ජලාශයේ “දැදුරු නයා” හෙවත් “ජයන්ට් ස්නේක් හෙඩ්” මත්ස්‍යයන් ආරක්ෂිතව ඉවත් කිරීමේ අරමුණින් විශේෂ මසුන් අල්ලා ගැනීමේ තරගයක් පැවැත්වීමට සූදානම් විය.

ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ වයඹ පළාත් ධීවර අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන මෙම තරගය ලබන 20 වැනිදා අලුයම 5.00 සිට දහවල් 1.00 දක්වා, දැදුරඔය ජලාශයේ නාටියා පාලම ආසන්නයේදී පැවැත්වීමට කටයුතු කර ඇත.

තරගකරුවන්ට භාවිතා කළ හැක්කේ බිලී පිති පමණක් වන අතර, දැල් හෝ වෙනත් ධීවර උපකරණ භාවිතා කිරීමට ඉඩ නොමැත. වෙනත් මසුන් අසුවුහොත්, ආරක්ෂිතව මුදා හැරීම තරගකරුවන්ගේ වගකීම යටතේ සිදු කළ යුතු අතර, අල්ලා ගන්නා මසුන් බෙදා ගැනීමට හැකියාවක් නොමැත.

දහවල් 1.00 වන විට, වැඩිම මසුන් අල්ලාගත් තරගකරුවන්ට මුදල් ත්‍යාග සහ සම්මාන ප්‍රදාන කෙරේ. ප්‍රථම ස්ථානය සඳහා රු. 25,000, දෙවන ස්ථානයට රු. 15,000, තෙවැනි ස්ථානයට රු. 10,000 යි. එයට අමතරව සම්මාන 10 ක් ද ප්‍රදානය කෙරේ. ජයග්‍රාහකයන් තෝරා ගැනීම අල්ලාගත් මසුන් ප්‍රමාණය අනුව වන අතර, බර අනුව නොවේ.

සංවිධායකයන් සදහන් කළේ, දැදුරු නයා මත්ස්‍යයා ස්වදේශීය ජලජ සත්වයන්ට තර්ජනයක් විය හැකි බැවින්, එය ආරක්ෂිතව ඉවත් කිරීම සහ ජනතාවට මෙම ආක්‍රමණශීලී මසුන් පිළිබඳ අවධාරණය ලබා දීම මෙම තරගයේ ප්‍රධාන අරමුණ බවයි.

තරතරගයට සහභාගි වන අය 076 3834369 අංකයට ඇමතීමෙන් වැඩි විස්තර ලබාගැනීමට හැකි බවද සංවිධායකයන් සඳහන් කරයි.

 

 

සජිත්ට බැල්ම හෙලන අල්ලස් කොමිසම

මහජන මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කැඳවීමට නියමිත බවට වාර්තා පළ වේ.

මෙම කැඳවීම සිදු කෙරෙන්නේ, ඔහුට එරෙහිව ලැබී ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහාය.

එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත මූලස්ථානය රජයේ මුදල් යොදවා සංවර්ධනය කළ බවට එම පැමිණිල්ලෙන් චෝදනා එල්ල වී තිබේ.

අමාත්‍ය ධුරයක් දරන සමයේදී මෙම සිදුවීම සිදුව ඇති බවට වාර්තා වේ.

දුම්රියේ ගැටී කාන්තාවකට දිවි අහිමි වෙයි

යාපනයේ කොඩිගාමම් ප්‍රදේශයේදී කාන්තාවක් දුම්රියක ගැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

දුම්රිය මාර්ගය හරහා මාරුවීමට ගිය කාන්තාවක්, කන්කසන්තුරේ සිට කොළඹ බලා ධාවනය වූ යාල්දේවී සීඝ්‍රගාමී දුම්රියට ගැටී, සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස් තිබෙන බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

මළ සිරුර දුම්රිය නිලධාරීන් විසින් කොඩිගාමම් දුම්රිය ස්ථානයට ගෙන ගොස් පසුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යාපනය ශික්ෂණ රෝහල වෙත භාර දී ඇත.

පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

රිලව් පන්නන්න සවුන්ඩ් එකක්

වන සතුන් පළවා හැරීම සඳහා ශබ්ද තරංග භාවිතා කිරීම සම්බන්ධයෙන් පොල් පර්යේෂණ ආයතනය විසින් සිදුකළ පර්යේෂණය අවසන් අදියරේ පවතින බව පොල් පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ නයනි ආරච්චිගේ පවසයි.

මෙම ශබ්ද තරංග යන්ත්‍ර වගාවන්ට හානි සිදුකරන වන අලින් ,වදුරන් රිලවුන් වැනි සතුන් ඉලක්ක කර ගනිමින් සකසා ඇත.

පර්යේෂණ වලට අනුව මෙම ශබ්ද තරංග යන්ත්‍ර ඔස්සේ වනසතුන් පළවා හැරීම මේ වන විට නිර්දේශ කළ හැකි මට්ටමේ පවතින බව ඇය ප්‍රකාශ කළාය.

ඒ අනුව වගා භූමියන් තුළ මෙම යන්ත්‍රවල ක්‍රියාකාරීත්වය පරීක්ෂා කර බැලීමට නියමිතව ඇති බවත් එලෙස පරීක්ෂා කිරීමේ වට කිහිපයකින් පසුව වනජීවී දෙපාර්තමෙන්තුව සමඟ එක්ව වගාකරුවන් වෙත ශබ්ද තරංග යන්ත්‍ර ලබාදිය හැකි බව නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් පැවසුවාය.

අද විභාගයට ගන්න ගම්මන්පිලගේ රිට් පෙත්සම

හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඉල්ලා සිටින්නේ, හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගෙතැන්න අත්අඩංගුවට ගැනීම පිළිබඳව මාධ්‍යයට කළ තම ප්‍රකාශය හේතුවෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කිරීමටය.

ඔහු අධිකරණයට පැවසූයේ, හිටපු එල්ටීටීඊ නායකයෙකුගේ ප්‍රකාශයක් මත හිටපු නාවික හමුදාපතිවරයා අත්අඩංගුවට ගත් බව තමන් මාධ්‍ය හරහා ප්‍රකාශ කළේ ජනවර්ග අසමගියක් ඇති කිරීමේ අරමුණක් නොවූ බවය. එහෙත්, එම ප්‍රකාශය හේතුවෙන් තමන් ඕනෑම වේලාවක අත්අඩංගුවට ගන්නා අවදානමක් තිබෙන බවද ඔහු අවධාරණය කර තිබේ.

හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු පිරිසන් නම් කර තිබේ.

මහින්දගේ නිල නිවස CID මූලස්ථානයට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනට පදිංචිව සිටින කොළඹ, විජේරාම මාවතේ පිහිටි නිල නිවස, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) මූලස්ථානය සඳහා ලබා දීමට රජයේ අවධානය යොමුව තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට පොලිස් මූලස්ථානය ආසන්නයේ පිහිටි පැරණි ගොඩනැගිල්ලක ක්‍රියාත්මක වන අතර, එහි පහසුකම් ප්‍රමාණවත් නොවීම නිසා නිලධාරීන් අපහසුතාවයට පත්ව සිටිති. මෙම ගැටලුවට විසඳුමක් ලෙස, හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවස භාවිතයට ගැනීමට සාකච්ඡා වී ඇත.

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ හිමිකම් ඉවත් කිරීමේ පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර, එය සම්මත කර ගැනීමෙන් පසුව මෙම පියවර ගැනීමට අපේක්ෂා කෙරේ. මෙම පනතට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් කිහිපයක් ඉදිරිපත් වී ඇති අතර, එහි තීන්දුව මේ වන විට කථානායකවරයා වෙත රහසිගතව යොමු කර තිබේ.

නීති සම්මත වීමෙන් පසු නිල නිවසෙන් ඉවත්ව යාමට කටයුතු කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බව පසුගියදා ප‍්‍රකාශ කලේය.

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කෙරේ

2025 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත්කර තිබේ.

ඒ අනුව https://www.doenets.lk/examresults සබැදිය ඔස්සේ ඔබට ප්‍රතිඵල පරික්ෂා කරගත ගැකිය.

විභාග දෙපාර්තමේන්තුව පවසා සිටියේ එම විභාගයේ උත්තර පත්‍ර පරික්‍ෂා කිරීම පසුගිය 22වැනිදා සිට 27 වැනිදා දක්වා සිදු කෙරුණු බවයි.

මෙම වසරට අදාළ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගිය අගෝස්තු 10 වනදා පැවැත් වුණි.

මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා සිංහල මාධ්‍යයෙන් අයදුම්කරුවන් 231,638ක් සුදුසුකම් ලබා සිටි අතර, දෙමළ මාධ්‍යයෙන් සුදුසුකම් ලබා සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව 76,313ක් වෙයි.

ඒ අනුව සම්පූර්ණ අයදුම්කරුවන් 307,951ක් විභාගයට පෙනී සිට ඇත.

Add to cart