අධිකරණ නියෝගයක් ලැබුණු ගූගල් සමාගම

ගූගල් සමාගමට එහි ක්‍රෝම් වෙබ් බ්‍රව්සරය විකිණීමට සිදු නොවන නමුත් තරගකරුවන් සමඟ තොරතුරු බෙදා ගත යුතු බව එක්සත් ජනපද ෆෙඩරල් විනිසුරුවරයෙකු නියෝග කර තිබේ.

මාර්ගගත සෙවුමේ ගූගල් ආධිපත්‍යය සම්බන්ධයෙන් වසර ගණනාවක් පුරා පැවති අධිකරණ නඩු විභායකින් පසුව, දිස්ත්‍රික් විනිසුරු අමිත් මේතා විසින් තීරණය කරන ලදි.

මෙම නඩුව කේන්ද්‍රගත වූයේ ඇන්ඩ්‍රොයිඩ් සහ ක්‍රෝම් වැනි තමන්ගේම නිෂ්පාදන පරාසයක මෙන්ම ඇපල් වැනි සමාගම් විසින් නිෂ්පාදනය කරන ලද අනෙකුත් නිෂ්පාදනවල පෙරනිමි සෙවුම් යන්ත්‍රය ලෙස ගූගල්ගේ ස්ථානය වටාය.

එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව ගූගල් ක්‍රෝම් විකුණන ලෙස ඉල්ලා තිබුණි.

ඊයේ ලබාදුන් නඩු තීන්දුවේ තීරණයෙන් අදහස් වන්නේ තාක්ෂණික දැවැන්තයාට එය තබා ගත හැකි නමුත් එයට සුවිශේෂී කොන්ත්‍රාත්තු තිබීම තහනම් වන අතර ප්‍රතිවාදීන් සමග සෙවුම් දත්ත බෙදා ගත යුතු බවය.

මාලිමා ආණ්ඩුව මහ පාරේ නඩු තීන්දු දෙනවා

ජාතික ජන බලවේගය නීතිය අතට ගනිමින් අනෙකුත් දේශපාලන පක්ෂවලට එරෙහිව ප්‍රචණ්ඩත්වය සහ තර්ජන එල්ල කිරීම දැඩි සේ හෙලා දකින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

කලක් ජනතා විමුක්ති පෙරමුණ සමඟ සිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂය මේ වන විට ජාතික ජන බලවේගයේ හිරිහැරවලට මුහුණ දෙන අතර, ඒ අනුව ජාතික ජන බලවේගයේ විශාල පිරිසක් ඊයේ උදෑසන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කාර්යාලයට බලහත්කාරයෙන් කඩා වැදී එය අත්පත් කර ගෙන ඇතැයි ඔහු පැවසීය.

ජාතික ජන බලවේගය පොරොන්දු වූ නව ක්‍රමවේදය මෙය නම් එමඟින්, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සැබවින්ම අවදානමට ලක්ව ඇති බවත්, පැරණි ජනතා විමුක්ති පෙරමුණ නැවත වරක් නිර්මාණය වීමේ බිය සමාජය තුළ ඇති වී නීතිය හා සාමය දැඩි අවදානමට ලක්වන බවත් නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

හරක් හොරකමේ ගිය සජබ මන්ත‍්‍රී අත්අඩංගුවට

ත්‍රිකුණාමලයේ සමගි ජන බලවේගය පක්ෂයේ දිස්ත්‍රික් සංවිධායකවරයෙකු වන ටර්නි සමන්, කන්තලේ සහ සේරුනුවර ප්‍රදේශවලින් මී ගවයන් හය දෙනෙකු සොරකම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් පසු, සැප්තැම්බර් 16 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මුතූර් මහෙස්ත්‍රාත් තස්ලිමා මොහොමඩ් ෆවුසාන් මහත්මිය නියෝග කළාය.

සැකකාර ටර්නි සමන් මහතා සමගි ජන බලවේගය පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ද වේ.

ඔහු පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කන්තලේ ප්‍රාදේශීය සභාවේ පක්ෂ කණ්ඩායම් නායකයා ලෙස පත්වීමෙන් පසු සභාපති ධුරය ලබාගැනීම සඳහා දැඩි උත්සාහයක් ගෙන තිබෙන බවට වාර්තා වේ.

ඔහු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ලෙස ද සේවය කරනු ලබයි.

Tourism හදන්න අලුත් කාර්ය සාධක බලකායක්

 

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සහ රටේ ආර්ථිකයට සෘජු ආදායමක් ලබා ගැනීමේ අරමුණින් නව කාර්ය සාධක බලකායක් පිහිටුවීමට රජය තීරණය කර ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

මෙම කාර්ය සාධක බලකායේ පළමු සැසිය ඊයේ (සැප්තැම්බර් 02) ජනාධිපති කාර්යාලයේදී ආරම්භ වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙම බලකාය මඟින් සංචාරක ක්ෂේත්‍රය නඟා සිටුවීමට අවශ්‍ය සැලසුම් සකස් කිරීමට, සංචාරකයන් සහ ව්‍යවසායකයින් මුහුණ දෙන ගැටලු සාකච්ඡා කිරීමට සහ රාජ්‍ය ආයතන ඒකාබද්ධ රාමුවක් යටතේ ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඉදිරියේදී පැමිණෙන සංචාරක සමය සාර්ථක කර ගැනීම සඳහා සියලු රාජ්‍ය ආයතන සහ පෞද්ගලික අංශය සමඟ සාකච්ඡා කර ඉදිරි සැලසුම් සකස් කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරිණි.

හොර බඩු අල්ලන්න යන්ත්‍ර දෙකක් කටුනායකට

ශ්‍රී ලංකා රේගුවට අයත් කටුනායක ගුවන්තොටුපළ පර්යන්තයට රුපියල් කෝටි පහක පමණ වටිනාකමකින් යුත් අති නවීන පරිලෝකන යන්ත්‍ර දෙකක් එක්කර ඇතැයි වාර්තා වෙයි.

මෙම යන්ත්‍රවල විශේෂත්වය වන්නේ 2D තාක්ෂණය මත පදනම්ව පරිලෝකන ක්‍රියාවලිය සිදු කිරීමය. එමඟින් නීතිවිරෝධී ද්‍රව්‍ය හඳුනාගැනීමේ හැකියාව ඉහළ නංවී ඇති බව ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂ තිළිණි පීරිස් පැවසීය.

ඇතැම් විට රට තුළට රහසින් ගෙන ආ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය, සිගරට් ඇතුළු භාණ්ඩ පරිලෝකනයට මෙම නව යන්ත්‍ර ප්‍රධාන අවධානය යොමු කරන බවද සදහන් කරයි.

දැනටමත් රේගු නිලධාරීන්ට මෙය භාවිතා කිරීමේ පුහුණු වැඩමුළු ලබාදී ඇති අතර, අනාගතයේ තවදුරටත් පුහුණු සැසි පවත්වා නව තාක්ෂණය සම්පූර්ණයෙන් යොදාගැනීමට සැලසුම් කර ඇති බවද රේගු බලධාරීන් තහවුරු කර තිබේ.

 

අද හයිලෙවල් මාර්ගයේ විශේෂ රථවාහන සැලැස්මක්

අද (3) පස්වරු 2.00 සිට රාත්‍රී 7.00 දක්වා කොළඹ හයිලෙවල් මාර්ගයේ රථවාහන සැලැස්මට විශේෂ වෙනස්කම් සිදුකර ඇති බව පොලිසිය පවසයි.

මෙය සිදුකරන්නේ බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී පැවැත්වීමට නියමිත 159 වැනි ජාතික පොලිස් දින සැමරුම් උත්සව හේතුවෙනි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්වේ.

එය සම්බන්ධයෙන් තුම්මුල්ල මංසන්ධියෙන් තිඹිරිගස්යාය මංසන්ධිය දක්වා කලාපය තුළ විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වන අතර, උත්සව කාලය තුළ බර වාහන එම මාර්ග භාවිතා කිරීමට සීමා කර තිබේ.

පොලිසිය පැවැසුවේ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය ඉදිරිපිට කොළඹින් පිටවන මංතීරුවේ ඇති බස් නැවතුම එම කාලය තුළ හැව්ලොක් පාර ෆොන්සේකා පාර හන්දිය දක්වා රැගෙන යන බවයි.

මාළිගාවත්තේ වෙඩි තැබීමක්

කොළඹ මාලිගාවත්තේ ජුම්මා මස්ජීඩ් මාර්ගයේදී වෙඩිතැබීමක් සිදුකර තිබේ.

ව්‍යාපාරික ස්ථානයක රැඳීසිටි තරුණයෙකු ඉලක්ක කරගනිමින් මෙම වෙඩිතැබීම සිදුකර ඇත.

වෙඩිවැදීමෙන් තුවාල ලැබූ එම තරුණයා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු T56 ගිනිඅවියක් භාවිත කරමින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

රන් මිල තවත් ඉහළට

 

ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉහළ යෑමත් සමඟ මෙරට රන් මිල ද වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා ස්වර්ණාභරණ සංගමය පවසයි.

සංගමයේ ලේකම් රාමන් බාලසුබ්‍රමනියම් මහතා සඳහන් කළේ, ඊයේ (සැප්තැම්බර් 02) දිනයේදී කැරට් 24 රන් පවුමක් රුපියල් 285,000ක් ලෙසත්, කැරට් 22 රන් පවුමක් රුපියල් 263,000ක් ලෙසත් අලෙවි වූ බවයි.

ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල මේ වන විට ඇමරිකානු ඩොලර් 3,531 දක්වා ඉහළ ගොස් ඇති අතර, මෙරට රන් මිල තවදුරටත් ඉහළ යෑමට ඉඩ ඇති බවටද ඔහු අනතුරු අඟවයි.

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට නිදහස

පොලිස් මූලස්ථානයේ විදුලි සෝපාන ක්‍රියාකරුවෙකුට සාපරාධී බලහත්කාරය හා බිය ගැන්වීම් කළ බවට එල්ල වූ චෝදනාවලින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අදාළ නඩුව අද (සැප්තැම්බර් 03) අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී ඇත.

විපක්ෂයේ ඡන්ද ලකුණ බන්ධනාගාරය

විපක්ෂයේ දේශපාලනඥයින් ඉදිරි මැතිවරණයක් සඳහා සන්ධානගතව තරග වදින්නේ නම් ඔවුන්ට හොඳම ඡන්ද ලකුණ බන්ධනාගාර ලකුණ බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පවසයි.

“නීතිය අවභාවිතාවේ යොදවපු ගොඩක් දෙනා හිරගෙදර කූරු ගණිනවා. ඒකට අපට කරන්න දෙයක් නෑ. ඒක වත්මන් පාලනය වන අපිටත් විශේෂයෙන්ම වැදගත්. මොකද අපිත් දැන් එක පාරක් දෙකක් තුනක් නෙවෙයි දහපාරක් හිතලා තමයි දේශපාලන තීන්දු තීරණ ගන්නේ”

“ඔය එකතුවීම මතුපිටින් පෙනෙන්නේ අද වුණාට මේ තොරණේ පිටිපස්සේ ඔක්කොම එකතැනක ඉන්නෙ කියලා අපි ගොඩක් කල් ඉඳලා කියනවා. වෙන්වෙලා හොරකම් කරලා එක්වෙලා බේරාගන්න උත්සාහ කරනවා නම් ඒක හරියන්නෙ නෑ. ඉතිහාසයේ ඔයාලා එහෙම කළාට අනාගතයේ එහෙම කරන්න බෑ. ඔයාලාට ගොඩාක් හිමිතැන තමයි බන්ධනාගාරය. මං හිතන්නේ ඉස්සරහට එකතුවෙලා ඡන්දයකට එනවා නම් බන්ධනාගාර ලකුණ තමයි හොඳම ලකුණ”

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ගාල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Add to cart