බස් එකෙන් වැටුණු රූමත් වෛද්‍යවරියගේ අවසන් කටයුතු අද

රත්නපුර ශික්ෂණ රෝහලේ සේවය කළ තිස් දෙහැවිරිදි වෛද්‍යවරියක, පෞද්ගලික මගී බස් රථ අනතුරකින් දිවි අහිමි වී තිබේ.

මොරගහයට පදිංචිව සිටි එක්දරු මවක වූ මදාරා මධුභාෂිනි නම් වෛද්‍යවරිය, සේවය නිම කර නිවෙසට යාමේ දී බස් රථයෙන් ඇද වැටී බරපතල තුවාල ලබා දින 14ක් දැඩි සත්කාර ඒකකයේ සටන් කළ ද, පසුගිය 1 වැනිදා මියගිය බව පැල්මඩුල්ල පොලිසිය සදහන් කරයි.

අනතුර සිදු වී ඇත්තේ ඉකුත් 19 වැනිදා මඩකලපුව–කොළඹ ප්‍රධාන මාර්ගයේ පැල්මඩුල්ල පොලිස් ස්ථානය අසලය. ත්‍රීරෝද රථයක් මාර්ගය හදිසියේ හරහා ගමන් කිරීම නිසා බස් රියදුරා තිරිංග තද කළ විට, වෛද්‍යවරිය දොරටුවෙන් විසිවී මාර්ගයේ ඇද වැටී ඇති බව මරණ පරීක්ෂණය හෙළි කරයි.

මෙම වෛද්‍යවරියගේ අවසන් කටයුතු අද පස්වරුවේ රත්නපුරේදී සිදුකිරීමට නියමිතය.

රිය අනතුරුවලින් ඊයේ දිනට මරණ පහක්

 

ඊයේ (සැප්තැම්බර් 02) දිනය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.

පොල්ගහවෙල-කෑගල්ල මාර්ගයේදී පෞද්ගලික බස් රථයක යතුරුපැදියක ගැටීමෙන් 8 හැවිරිදි දැරියක් මියගොස් තිබේ. අනතුර සිදුවන අවස්ථාවේදී ඇය යතුරුපැදියේ පිටුපස ගමන් කරමින් සිට ඇති අතර, තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වී ඇත. බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

රත්නපුර-පානදුර මාර්ගයේදී සිදුවූ අනතුරකින් 82 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇත. රියදුරුට පාලනය කරගත නොහැකි වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

කටුනායක-කිඹුලාපිටිය මාර්ගයේදී යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කරමින් සිටි 50 හැවිරිදි පදිකයෙකුගේ ගැටීමෙන් අනතුරක් සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූ පදිකයා සහ යතුරුපැදිකරු රෝහල් ගත කිරීමෙන් පසු පදිකයා මියගොස් තිබේ.

කළුවන්කේණි දුම්රිය හරස් මාර්ගයේදී සීඝ්‍රගාමී දුම්රියක යතුරුපැදියක් ගැටීමෙන් 26 හැවිරිදි යතුරුපැදිකරුවා එම ස්ථානයේම ජීවිතක්ෂයට පත්ව ඇත.

හලාවත-පුත්තලම මාර්ගයේදී යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකුගේ ගැටීමෙන් සිදුවූ අනතුරකින් එම පදිකයා මියගොස් තිබේ. තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පදිකයා රෝහල් ගත කිරීමෙන් පසු පදිකයා ජීවිතක්ෂයට පත් වී ඇත. මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත.

මෙම අනතුරු සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථාන මඟින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

මාස අටට ඩෙංගු රෝගීන් 36708 ක්

ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන පරිදි, මේ වසරේ ගතවූ මාස අටක් තුළ ඩෙංගු රෝගින් 36,708ක් මෙරටින් වාර්තා වී ඇත.

අගෝස්තු මාසය තුළ පමණක් 2,749 නව රෝගීන් හඳුනාගෙන ඇති අතර, පෙර කාලයට සාපේක්ෂව එය අඩු සංඛ්‍යාවක් ලෙස සෞඛ්‍ය අංශ පෙන්වයි.

මේ අතර, ජීවිත 19ක් දැනටමත් අහිමිවී තිබේ.

වෛද්‍යවරුන් අවධාරණය කරන්නේ, ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග දෙකම මේ දිනවල ව්‍යාප්ත වන බැවින්, උණ ඇති පුද්ගලයෙකු පැරසිටමෝල් පමණක් භාවිත කළ යුතු බවයි. වෙනත් වේදනා නාශක භාවිත කළහොත් අභ්‍යන්තර රුධිර වහනයට ලක් වීමේ අවදානම තිබේ.

එමෙන්ම, උණ දින තුනකට වඩා පවතින අවස්ථාවල වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන ලෙසත් ජනතාවට උපදෙස් දී ඇත.

 

එජාපයේ ප්‍රබලයින් 02ක් අත්අඩංගුවට ?

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් දෙදෙනෙකු මේ සතිය තුළ අත් අඩංගුවට ගැනෙනු ඇති බව ආරංචිමාර්ග පවසයි.

මූල්‍ය වංචා සිද්ධි දෙකක් සම්බන්ධයෙන් ඔවුන්ව අත් අඩංගුවට ගැනීමට නියමිත අතර ඒ සඳහා අවශ්‍ය කටයුතු දැනටමත් සිදුකෙරෙමින් පවතින බව සඳහන්.

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ද පසුගිය අගෝස්තු 22 වනදා අත් අඩංගුවට ගැනුනු අතර පසුව ඇප මත නිදහස් කරන ලදී.

ලංවිම අයිතිය 100%ක් ආණ්ඩුවේ

විදුලිබල ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිලිවෙලේ ක්‍රියාත්මක නවතම තත්වයත්, විශේෂයෙන්ම සේවක පාර්ශවය ඉදිරිපත් කරන විවේචන ඇතුළු කරුණු පිළිබඳ සාකච්ඡාවක් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සහ විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති නියෝජිතයින් අතර ඊයේ (02) පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල පුරා හැකි සෑම අවස්ථාවකදීම විදුලිබල මණ්ඩල සේවකයින්ගේ අදහස්, උදහස් හා දුක්ගැනවිලිවලට ඇහුම්කන් දෙමින්, මතුවූ කරුණුවලට අවධානය යොමු කරමින් ක්‍රියා කළ බවද, ඉදිරියටද මේ තත්වය පවත්වාගෙන යෑම තම අපේක්ෂාව බවත්, ප්‍රකාශ කළේය.

ඒ අනුව, පනත සම්මත වීමෙන් පසු, පනත අනුව සියයට සීයක් රජයේ හිමිකාරීත්වය සහිත සමාගම් පිහිටුවීම සිදුකර සේවකයින්ට පෙර දැනුවත් කිරීමේ දැන්වීම් ලබාදී ඇති බවත්, ක්‍රියාවලිය තුළ ඇති අපැහැදිලිකම් අඩුපාඩු වේ නම්, ඒ ගැන සාකච්ඡා කිරීමට සූදානම් බවද මෙරට සමාගම් පනත අනුව නීත්‍යානුකූලව සමාගම් අගට (පුද්ගලික) සමාගම යනුවෙන් යෙදෙන බවත්, එම වචන භාවිතා කරමින් පුද්ගලිකකරණය කිරීමක් කර ඇති බවට හුවා දක්වන්නට සමහරු උත්සාහ කරන බවත්, ඇත්ත තත්වය විශේෂයෙන්ම සේවක පාර්ශවයට දැනුම් දිය යුතු බවත්, සිහිපත් කළේය.

හෝමාගම නව පොලිස් කොට්ඨාසය අද විවෘත කෙරේ

 

නව පොලිස් කොට්ඨාසයක් ලෙස ස්ථාපිත කෙරුණු හෝමාගම පොලිස් කොට්ඨාසය අද (සැප්තැම්බර් 03) විවෘත කිරීමට නියමිතය.

මෙම අවස්ථාව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාගේ ප්‍රධානත්වයෙන් සහ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

නව පොලිස් කොට්ඨාසය අද පෙරවරු 11.00ට නො. 159/03, හයිලෙවල් පාර, ගොඩගම යන ලිපිනයේදී විවෘත කෙරේ.

අල්ලස සහ දූෂණය රාජ්‍ය අංශයේ පිළිකාවක්

චෝදනා එල්ල වන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන සිරගත කිරීමෙන් පමණක් දූෂණය සහ අල්ලස විසඳිය නොහැකි ගැටලුවක් යයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා පවසයි.

දිසානායක මහතා පවසන්නේ, අල්ලස් කොමිසම විසින් මේ ගැටලුවේ මූලික ස්වභාවය හඳුනාගෙන ඇති බවයි.

විශේෂයෙන්ම රාජ්‍ය අංශයේ සහ රාජ්‍ය ආයතන තුළ අල්ලස සහ දූෂණය පිළිකාවක් මෙන් මුල් බැසගෙන තිබේ. මෙම තත්ත්වය කෙතරම් සංකීර්ණද යන්න තමන්ට අවබෝධ වූයේ අල්ලස් කොමිසමට එක් වූ පසුව බවද ඔහු ප්‍රකාශ කළේය.

එමෙන්ම, දූෂණයට එරෙහිව හඬ නගන බොහෝ දෙනාම අවසානයේදී දූෂිත ක්‍රියාවන්ටම යොමුවන බවක් දක්නට ලැබෙන බව ඔහු පෙන්වා දෙයි.

සිස්ටම් වෙනස් කළ යුතුයි කියා බොහෝ අය කතා කළත්, ඒය තමනට ලං වූ විට බොහෝ දෙනා තම ස්ථාවරය වෙනස් කරන බවත් මෙය තමා පෞද්ගලිකවම අත්දැකීමෙන් තේරුම් ගත් සත්‍යයක් බව අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘දූෂණයෙන් තොර ශ්‍රී ලංකාවක්’ සඳහා පළාත් පාලන ආයතන නියෝජිතයන් දැනුවත් කිරීමේ වැඩසටහනකට සහභාගී වෙමිනි.

පාකිස්ථානයේ බෝම්බ ප්‍රහාරවලින් 22ක් මරුට

පාකිස්ථාන දේශසීමා පළාත් වන බලුකිස්තානය සහ කයිබර් පක්තුන්ක්වා හි සිදු වූ ප්‍රහාර තුනකින් අවම වශයෙන් 22 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව, නිරිතදිග පාකිස්ථානයේ ක්වේටා නගරයේ දේශපාලන රැලියක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් ඇති බව එරට පොලිසිය පවසයි.

එමෙන්ම තවත් 30 දෙනෙකු තුවාල ලබා තිබෙන බවද මාධ්‍ය වාර්තා කරයි.

බලුකිස්තාන් ජාතික පක්ෂ-මෙන්ගල් (BNP-M) හි ජ්‍යෙෂ්ඨ නායකයෙකු වන සජිඩ් තරීන් පවසා ඇත්තේ, රැලිය අවසන් වීමෙන් පසු රථගාලේ පිපිරීම සිදු වූ බවත්, පක්ෂ සාමාජිකයින් කිහිප දෙනෙකු තුවාල ලැබූ බවත්ය.

ජාතික රෝහලේ අතුරුදහන් වූ බිළිදු මළ සිරුර

කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබූ බිළිඳු මළ සිරුරක් අස්ථානගතව ඇතැයි මරදාන පොලිසිය පවසයි.

ඉකුත් අගෝස්තු මස 01 වැනි දින දෙමටගොඩ පොලිස් වසමේ මාලිගාවත්ත දුම්රිය අංගනයේ නවතා තිබූ දුම්රියක වැසිකිළියක් තුළ තිබි මෙම බිලිදු මළ සිරුර හමුවිය.

ඒ සම්බන්ධයෙන් දෙමටගොඩ පොලිසිය මගින් විමර්ශන සිදුකර මහේස්ත්‍රාත්වරයාගේ නියෝග මත කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ බිළිදු මළ සිරුර තැන්පත් කර තිබිණි.

එම දේහය සම්බන්ධයෙන් ඉකුත් මස 29 හා 31 වෙනි දිනයන් හි පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා දෙමටගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරය වෙත පැමිණ ළමා මෘත දේහය සම්බන්ධයෙන් විමසා ඇතිමුත් එම දේහය සොයාගැනීමට නොහැකි වී තිබේ.

මරදාන පොලිසිය මේ සම්බන්ධව තවදුරටත් පරීක්ෂණ පවත්වයි.

Add to cart