මධ්‍යම අධිවේගයේ මාරක අනතුරක්

මධ්‍යම අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් පුද්ගලයෙක් බරපතළ තුවාල රෝහල් ගත තිබේ.

මධ්‍යම අධිවේගී මාර්ගයේ 41 වන කිලෝමීටර් කණුව අසලදී ඉන්ධන ප්‍රවාහන ප්‍රයිම් මුවර් රථයක් හා ලොරි රථයක් එකිනෙක ගැටී මාර්ගයයෙන් ඉවත පහල බෑවුමට පෙරලී මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් මියගිය එක් අයෙක් , ලොරි රථයේ ගමන්කළ රිය සහායකයා බව වාර්තා වේ.

ඡායා – Accident 1st

 

159 වන පොලිස් දිනය අදයි

 

ශ්‍රී ලංකා පොලිසියේ 159 වන සංවත්සරය අද (සැප්තැම්බර් 03) දිනට යෙදී තිබේ. “නීතිය සුරකිමු – සාමය අගයමු” යන තේමාව යටතේ දිවයින පුරා විවිධ වැඩසටහන් සංවිධානය කරමින් මෙම දිනය සමරනු ලැබේ.

මහජනතාවගේ ආරක්ෂාව සහ සාමය වෙනුවෙන් නොයෙක් කැපකිරීම් කරමින් පොලිසිය සිදු කරන සේවය මෙම දිනයේදී විශේෂයෙන් ඇගයීමට ලක් කෙරේ.

රනිල්ගේ අසනීපය එජාප සමුළුව කල්තබයි

ලබන සෙනසුරාදා (06) පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සර උත්සවය viii වැනි විධායක ජනාධිපති, එජාප නායක රනිල් වික්‍රමසිංහගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය හේතුකොට ගෙන කල් දැමීමට එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටුව තීරණය කර තිබේ.

ඒ අද (2) කොළඹදී රැස්වූ එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුව විසින් ඉහත තීරණයට එළැඹි බව එජාප මහ ලේකම් නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළ අතර කල් දමනු ලැබූ එජාපයේ 79 වන සංවත්සර උත්සවය මේ මාසයේම වෙනත් දිනයක පැවැත්වීමට පියවර ගන්නා බවද ඇය වැඩි දුරටත් ප්‍රකාශ කළාය.

වික්‍රමසිංහ මහතාට ලබාදී තිබෙන වෛද්‍ය උපදෙස් සහ කළමනාකරණ කමිටු සාමාජිකයන්ගේ ඉල්ලීම මත මේ තීරණයට එළැඹුන බවද එජාප මහලේකම්වරිය වැඩිදුරටත් පැවසුවාය.

ආණ්ඩුවේ මැර කල්ලියේ පහරදීම ගැන පුබුදු ජයගොඩ කියන කතාව

යක්කල ප්‍රදේශයේ පිහිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන කාර්යාලයට ඊයේ (02 වැනිදා) උදේ කඩු, පොලු රැගෙන කඩාවැදුණු 150කට අධික මාලිමාවේ බවට කිව හැකි මැර පිරිසක් එහි සිටි පුද්ගලයින්ට පහරදී බලහත්කාරයෙන් එම කාර්යාලය අත්පත්
කරගෙන රැඳී සිටින බවත් මෙහිදී කාන්තාවක ඇතුළු 16 දෙනකු තුවාල ලැබූ බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසීය.

තුවාල ලැබූ 6 දෙනකු ගම්පහ රෝහලට ඇතුළත් කළ බවද ඒ මහතා කියා සිටියේය. මෙලෙස පැමිණි මැර පිරිස අතර ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ආණ්ඩු පක්ෂ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සංවිධායකවරුන් සිටි බවද මෙම ම්ලේච්ඡ ප්‍රහාරය නැවැත්වීමට පොලිසිය කිසිදු මැදිහත්වීමක් නොකළ බවටද ඔහු චෝදනා කළේය.

පුබුදු ජයගොඩ මහතා මෙහිදී තවදුරටත් කියා සිටියේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය සතු වූ මෙම කාර්යාලය අවුරුදු 13ක් තිස්සේ පක්ෂය විසින් පරිහරණය කළ ස්ථානයක් බවයි.

පෙරටුගාමී පක්ෂයේ මැතිවරණ කටයුතු පක්ෂ සංවිධාන කටයුතු, බහුජන මැදිහත්වීම් ආදී සියලු නිල කටයුතු මෙම ස්ථානය මූලික කරගෙන ක්‍රියාත්මක වූ බවද ඒ මහතා කීය.

නඩු තීන්දුවක් ඇතැයි කියමින් ආණ්ඩුවේ පිරිස් මෙම ස්ථානයට කඩා පැනීම කිසිසේත් යුක්ති සහගත නැති බවද ඒ මහතා කීය.

මෙම පහරදීමෙන් තුවාල ලැබූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික සුජිත් කුරුවිට මහතා පැවසුවේ පහරදීම සිදු කළේ ආණ්ඩුවට සම්බන්ධ පිරිසක් බවයි.

තවදුරටත් පුබුදු ජයගොඩ තම ෆේස්බුක් ගිණුමේ මේ පිළිබදව මෙසේ පළ කර ඇත.

ඔහු සමාජ මාධ්‍යවල පළ කළ ප්‍රකාශයේදී මෙසේ ප්‍රශ්න කළේය:

යැවූ අධිකරණ නියෝගය ලැබූ තොරතුර සත්‍යද?

අධිකරණ නියෝගයක් තිබේ නම්, එය අධිකරණය මගින් රේජිස්ට්‍රාර්වරයා පිටකරන ලියුමක් බවට සනාථ කළ හැකිද?

මෙවැනි නියෝගයක් පසුගිය රටේ ඉතිහාසයේදී පූර්ව පරිප්‍රේක්ෂයක් තිබේද?

පැමිණිල්ලක් නොමැතිව නියෝගයක් නිකුත් වීම නීතිගතද?

ඇතැම් නීතිඥයින්ගේ දක්වන අදහස් අනුව, මෙය අධිකරණ අතුරුදන්වීමක් ලෙස සැලකිය හැකිද?

නියෝගයක් නැතිව රේජිස්ට්‍රාර්වරයෙකුට මෙවැනි අධිකරණ කටයුත්තක් සිදු කිරීමට අවසර තිබේද?

කොටින්ගේ රන් බඩු මහ බැංකුව යටතට!

උතුරේ මානුෂීය මෙහෙයුම අතරතුරදී එල්.ටී.ටී.ඊ. බැංකුවල තිබී සොයාගෙන යුද හමුදාව භාරයේ තබා තිබූ රුපියල් කෝටි ගණනක් වටිනා රන් භාණ්ඩ තොගයෙන් රන් අයිතම පන්දහසකට (5,000) අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත යොමු කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (02) දන්වා සිටියේය.

යුද හමුදා මූලස්ථානයේ ආරක්ෂක සේප්පුවල බහා තිබෙන එම රන් භාණ්ඩ අයිතමයන් නිසි පරිදි ගණනය කිරීම සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ කාර්යාලයක්ද තාවකාලිකව එම මූලස්ථානයේ ස්ථාපිත කර ඇතැයි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග බෝදරගම වෙත දන්වා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු ඒ අනුව අදාළ රන් භාණ්ඩවල බර, වටිනාකම ආදී අවශ්‍ය කරුණු ඇතුළත් කර නඩු භාණ්ඩ වශයෙන් ලේඛනගත කරන බවද අධිකරණයට දන්වා සිටියහ.

කොළඹ අපරාධ වාර්තා කොට්ඨාසයේ නිලධාරීන් යුද හමුදා මූලස්ථානය වෙත පැමිණ අදාළ රන් භාණ්ඩ තොගයේ ඡායාරූප ලබාගන්නා බවත් අදාළ රන් භාණ්ඩ ගණනය කිරීමේ කටයුතුවලට ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් ද සහභාගි වන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු අධිකරණය වෙත දන්වා සිටියහ.

ශ්‍රී ලංකා යුද හමුදාව භාරයේ රත්තරන් තොගයක් ඇති බවට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් 2025 අප්‍රේල් 29 වැනිදා කරන ලද පැමිණිල්ලක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව, අධිකරණ නියෝග මත එම රන් භාණ්ඩ ගණනය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා මහ බැංකුව භාරයට යොමු කිරීමට පියවර ගෙන තිබේ.

යුද හමුදාව භාරයේ මේ වන විට ඇතැයි පැවසෙන කිලෝග්‍රෑම් 80කට අධික රන් භාණ්ඩ තොගයෙන් රන් භාණ්ඩ අයිතම 5182ක් නඩු භාණ්ඩ 3866ක් යටතේ ලේඛන ගතකර ඇති බව අධිකරණයට දන්වා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු එම රන් භාණ්ඩ ශ්‍රී ලංකා මහ බැංකුවේ ආරක්ෂිත සේප්පු 9ක මේ වනවිට තැන්පත් කර ඇතැයිද අධිකරණය වෙත දන්වා සිටියහ.

එම භාණ්ඩවල ඡායාරූප ඇතුළත් විස්තර වාර්තාවක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළහ.

මෙම සිද්ධියට අදාළ ඉදිරි කටයුතුවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේය.

මූලාශ්‍රය – අරුණ

බැකෝ සමන් සහ තැඹිලි ලහිරු දින 90ක් රඳවාගනී

 

සංවිධානාත්මක අපරාධකරුවන් වන “බැකෝ සමන්” සහ “තැඹිලි ලහිරු” දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයට අවසර ලැබී තිබේ.

මෑතකදී කෙහෙල්බද්දර පද්මේ සමඟ ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ මෙම අපරාධකරුවන් දෙදෙනාගෙන් ඔවුන් සිදු කළ අපරාධ පිළිබඳව වැඩිදුර විමර්ශන සඳහා මෙම අවසරය ලබා දී ඇත.

කොටස් වෙළෙඳපොළ ඒකක 71.78 කින් පහළට

 

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (සැප්තැම්බර් 02) දිනයේදී ඒකක 71.78 කින් පහළ ගොස්, දවස අවසන් වන විට ඒකක 20,990.67ක් ලෙසින් සටහන් විය.

එය ප්‍රතිශතයක් ලෙස 0.34%ක පහළ යාමක් වන අතර, අද දින වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 7.5ක් බව කොළඹ කොටස් වෙළෙඳපොළ නිවේදනය කරයි.

අගෝස්තුවේ සංචාරක පැමිණීම් 20.4 % ක වර්ධනයක්

ඉකුත් අගෝස්තු මාසයේ මෙරටට පැමිණි මුළු සංචාරකයින් ප්‍රමාණය 198,235ක් දක්වා සියයට 20.4 කින් වැඩි වී ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ගිය වසරේ (2024) අගෝස්තු මාසයේ මෙරටට පැමිණි මුළු සංචාරකයින් ප්‍රමාණය 164609 පමණක් විය.

මේ අගෝස්තු මස සංචාරක පැමිණීම් සමග මේ වසරේ ( 2025) වසරේ මුල සිට අගෝස්තු අග දක්වා මෙරටට පැමිණ ඇති මුළු සංචාරකයින් සංඛ්‍යාව 1566523ක් දක්වා ඉහළ ගොස් ඇත.

අගෝස්තු මාසයේ වැඩිම සංචාරක පැමිණීමක් වන 8,481ක සංචාරකයින් පිරිසක් අගෝස්තු 2 වන දින මෙරටට පැමිණ ඇති අතර එම කාස සීමාව තුළ වැඩිම සංචාරක පිරිසක් මෙරටට පැමිණි රට ලෙස ඉන්දියාව වාර්තා වී ඇත.

පද්මේගේ අනාවරණයෙන් සෙව්වන්දි හිරවෙයි

 

රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරනු ලබන සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ‘කෙහෙල්බද්දර පද්මේ’ විසින් කරන ලද අනාවරණයන් මත, ගනේමුල්ල සංජීව ඝාතනයට ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වන ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසය මෙම මෙහෙයුම ජාත්‍යන්තර පොලිසියේ සහයෝගය ඇතිව සිදු කරයි.

ගනේමුල්ල සංජීව ඝාතනයෙන් දින කිහිපයකට පසු ඉෂාරා සෙව්වන්දි ඩුබායි වෙත පලා ගිය බව පද්මේ විසින් අනාවරණය කර ඇති අතර, ඊට අදාළ තවත් වැදගත් කරුණු කිහිපයක් ද ඔහු හෙළි කර තිබේ. ඒ අනුව, කොළඹ අපරාධ කොට්ඨාසය අතිරේක විමර්ශන ආරම්භ කර ඇති බව ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

පොලිස්පතිතුමන්ගෙන් පොලිස් දිනයට ආගමික වතාවත්

 

සැප්තැම්බර් 03 වන දිනට යෙදෙන පොලිස් දිනයට සමගාමීව, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ප්‍රධානත්වයෙන් පොලිස් ධජ සහ කොට්ඨාස ධජ රැගෙන අනුරාධපුර පූජා නගරයේ ආගමික වතාවත්වල නිරත විය. මෙම පුදබිමේදී ශ්‍රී ලංකා පොලීසියට සහ සමස්ත රටවැසියාට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම සිදු කෙරිණි.

සෑම වසරකම පොලිස් දිනයට සමගාමීව පැවැත්වෙන මෙම ආගමික වැඩසටහන, මෙවර සැප්තැම්බර් 01 වන දින පවත්වන ලදී. පොලිස්පතිතුමන් සිය ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලි සෑය අභියසදී මෙම ආගමික වතාවත්වලට එක් විය.

Add to cart