පොලිස්පතිතුමන්ගෙන් පොලිස් දිනයට ආගමික වතාවත්

 

සැප්තැම්බර් 03 වන දිනට යෙදෙන පොලිස් දිනයට සමගාමීව, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ප්‍රධානත්වයෙන් පොලිස් ධජ සහ කොට්ඨාස ධජ රැගෙන අනුරාධපුර පූජා නගරයේ ආගමික වතාවත්වල නිරත විය. මෙම පුදබිමේදී ශ්‍රී ලංකා පොලීසියට සහ සමස්ත රටවැසියාට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම සිදු කෙරිණි.

සෑම වසරකම පොලිස් දිනයට සමගාමීව පැවැත්වෙන මෙම ආගමික වැඩසටහන, මෙවර සැප්තැම්බර් 01 වන දින පවත්වන ලදී. පොලිස්පතිතුමන් සිය ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලි සෑය අභියසදී මෙම ආගමික වතාවත්වලට එක් විය.

අපි යා යුතුම ගමන , චම්පිකගේ Pothcast 15

මේ වන විට ආසියානු රටවල් සහ චීනය අතර ඩොලර් ට්‍රිලියනයක පමණ ගනු-දෙනු සිදුවන්නේ යැයි පාඨලී චම්පික රණවක පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ Patali Champika Ranawaka YouTube නාලිකාවේ Pothcast වැඩසටහන තුළිනි. ඒ, Kishore Mahbubani සහ Jeffery Sng දෙපළ විසින් රචිත ”The ASEAN Miracle: A Catalyst for Peace” නමැති කෘතිය හඳුන්වා දෙමිනි.

කෘතිය පිළිබඳ වැඩි දුරටත් අදහස් දක්වමින් පාඨලි කියා සිටියේ ඇමරිකා එක්සත් ජනපදයේ ආයෝජන තවමත් ඉතා විශාල වශයෙන් ආසියානු කලාපයේ සිදුවන බවයි. එමෙන් දේශපාලනික වශයෙන් ගත්ත ද ඇමරිකාව සහ ආසියානු කලාපය තුළ විශාල වෙනස්කම් දක්නට නොලැබෙන බව ද හෙතෙම අවධාරණය කළේ ය.

මතු පළවන්නේ Kishore Mahbubani සහ Jeffery Sng දෙපළ විසින් රචිත ”The ASEAN Miracle: A Catalyst for Peace” නමැති කෘතිය හඳුන්වා දෙමින් පාඨලී චම්පික රණවක කළ සම්පූර්ණ අදහස් අන්තර්ගත වීඩියෝව යි.

SSP සතිෂ් ගමගේ යළි රිමාන්ඩ්

 

අල්ලස් සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් ගමගේ මහතා ලබන සැප්තැම්බර් 16 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරුන් විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.

සැකකාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ගාල්ල සහ ඇඹිලිපිටිය පොලිස් කොට්ඨාස භාරව කටයුතු කළ සමයේ වෙනත් පුද්ගලයෙකුගේ නමින් පෞද්ගලික බැංකු තුනක ගිණුම් විවෘත කර ඇති බව අනාවරණය වී තිබේ. ඔහු සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන්, පොලිස් සේවා ලබා ගැනීමට පැමිණි පුද්ගලයන්ගෙන් සහ වෙනත් අපරාධකරුවන්ගෙන් රුපියල් මිලියන 14 කට ආසන්න මුදලක් අල්ලස් වශයෙන් ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වී ඇත. මෙම චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

Online පනත තදින් ඇමති තදින් කියයි

පුද්ගල ආරක්ෂාවට තර්ජනයක් වන අන්තර්ජාල අපරාධ වර්ධනය වීම වැළැක්වීම සඳහා අන්තර්ජාල ආරක්ෂණ පනත දැඩිව ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

සමාජ මාධ්‍ය හරහා විවිධ පුද්ගලයන්, විශේෂයෙන්ම තරුණ පරපුර, අන්තරායකර තත්ත්වයන්ට පත්වීම වැළැක්වීම මෙම පියවරෙහි අරමුණයි.

සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන විවිධ නීති විරෝධී ක්‍රියාකාරකම්, ප්‍රචණ්ඩත්වය සහ සමාජ අසහනය වැඩි කිරීමට හේතු වී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙම අකටයුතුකම් අතරට, කප්පම් ගැනීම්, අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය කිරීම, කාන්තාවන්ගේ ඡායාරූප කෘත්‍රිම බුද්ධිය (AI) යොදාගෙන විකෘති කිරීම, සහ පාසල් දරුවන්ට අසභ්‍ය දර්ශන ඇතුළු හානිකර වීඩියෝ පට බෙදාහැරීම වැනි ක්‍රියාකාරකම් ඇතුළත් වේ.

අමාත්‍යවරයා සඳහන් කළේ, තම ඡායාරූපයක් ද කෘත්‍රිම බුද්ධිය යොදාගෙන විකෘති කර සමාජ මාධ්‍යට මුදාහැර ඇති බවත්, ඒ පිළිබඳව දැනටමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති බවත්ය.

මෙවැනි ක්‍රියාවන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු අවධාරණය කළේය.

මෙවැනි පනත් මගින් අන්තර්ජාල වේදිකා සහ ඒවායේ අන්තර්ගතයන් නියාමනය කිරීම තුළින් පරිශීලකයන්, විශේෂයෙන්ම ළමුන්, අහිතකර සහ නීති විරෝධී ද්‍රව්‍යවලින් ආරක්ෂා කිරීම අරමුණු කරගනී. ලෝකයේ බොහෝ රටවල් මේ වන විටත් මෙවැනි නීති සම්පාදනය කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු පුරවයි

 

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පවතින නිලධාරීන්ගේ හිඟය පියවීමට පියවර ගනිමින්, නව නිලධාරීන් 585 දෙනෙකු බඳවා ගැනීමට රජයේ අනුමැතිය ලැබී ඇත. බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ජගත් වීරසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය 2025 අගෝස්තු 29 වන දින ප්‍රකාශයට පත් කරන ලදී.

නව බඳවා ගැනීම් යටතේ පුරප්පාඩු වන තනතුරු වන්නේ බන්ධනාගාර නියාමක (පිරිමි) 409ක්, බන්ධනාගාර නියාමක (කාන්තා) 70ක්, බන්ධනාගාර II පෙළ ජේලර් (පිරිමි) 55ක්, බන්ධනාගාර II පෙළ ජේලර් (කාන්තා) 07ක්, බන්ධනාගාර II පෙළ පුනරුත්ථාපන නිලධාරී (පිරිමි) 10ක් සහ බන්ධනාගාර II පෙළ පුනරුත්ථාපන නිලධාරී (කාන්තා) 03ක් ලෙසයි.

ජනාධිපති ලේකම් කාර්යාලය අසල විරෝධතාවක්

 

විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන්ගේ විරෝධතාවක් හේතුවෙන් කොළඹ, ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල මාර්ගයේ එක් මංතීරුවක් අවහිර වී ඇත.

ගෝල්ෆේස් සිට කොල්ලුපිටිය දෙසට දිවෙන මාර්ගය මෙලෙස අවහිර වී ඇති බව වාර්තා වේ.

මේ අතර, විරෝධතාවයේ නිරත පිරිස නියෝජනය කරමින් සාකච්ඡාවක් සඳහා නියෝජිතයන් හය දෙනෙකු ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගොස් ඇති බවද වාර්තා වේ

මදුවා යළි අත්අඩංගුවට

 

මීට දින කිහිපයකට පෙර ව්‍යාජ පිස්තෝලයක් සමඟ අත්අඩංගුවට ගත් ජනප්‍රිය රැප් ගායක මාධව ප්‍රසාද් නොහොත් ‘මදුවා’ නැවත වතාවක් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව ජෙලග්නයිට් කූරු 3ක්, ඩෙටනේටර් 5ක් සහ ඇමෝනියා නයිට්‍රේට් කිලෝග්‍රෑම් 3.5ක් තිබූ බව කහතුඩුව පොලීසිය සඳහන් කරයි.

කහතුඩුව පොලීසියේ අපරාධ විමර්ශන අංශයට ලැබුණු රහසිගත තොරතුරකට අනුව, සැකකරුගේ පිටිපන, ගලහේන ප්‍රදේශයේ නිවස පිටුපස වළදමා තිබූ මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබේ.

සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී, කොටවිල පොලිසියේ ගිනිඅවියක් සොරකම් කිරීම සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස් කොස්තාපල්වරයෙකු සහ තවත් රැප් ගායකයෙකු විසින් මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය තමාට ලබා දුන් බවට අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් මෙම රැප් ගායකයා පසුගිය අගෝස්තු 25 වන දින ව්‍යාජ පිස්තෝලයක් සමඟ පොලිස් අත්අඩංගුවට පත්ව, පසුව ඇප මත මුදා හැර තිබිණි. මෙම සැකකරු 26 හැවිරිදි තරුණයෙකි.

අල්ලස් පැමිණිලි 3,937ක්

2025 වසරේ මුල් මාස 07 තුළ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි 3,937ක් ලැබී ඇති අතර එම පැමිණිලිවලින් වැටලීම් 72ක් සිදුකර ඉන් 39ක් සාර්ථක කර ගැනීමට හැකිවී ඇති බව එම කොමිසම පවසයි.

එම වැටළීම්වලදී අත් අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 49කි.

අත් අඩංගුවට පත් 49 දෙනා අතරින් වැඩිම පිරිස පොලිස් නිලධාරීන් බවත් එසේ අත් අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 17ක් බවත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කර තිබේ.

අධිකරණ අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය, ආගමන විගමන දෙපාර්තමේන්තුව, ලංකා ගමනා ගමන මණ්ඩලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල යන රාජ්‍ය ආයතනවලින් ද සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

මීට අමතරව මෙම මාස 7 තුළ සිදුකළ විමර්ශනවලදී තවත් පුද්ගලයින් 39 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන් අතර හිටපු අමාත්‍යවරුන්, අමාත්‍යංශ ලේකම්වරුන් ආයතන ප්‍රධානීන්, වෛද්‍යවරුන් ඇතුළු පුද්ගලයින් වන බවත් සඳහන්.

එමෙන්ම ගතවූ කාලය තුළ පුද්ගලයින් 27 දෙනෙකු අල්ලස් ලබාගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් අධිකරණ මගින් වරදකරුවන් කර ඇති බව ද එම කොමිසම ප්‍රකාශ කර ඇත.

ඊයේ දිනයේදී මරණ හතරක් වාර්තා වෙයි.

 

රාජාංගනය පොලිස් වසමේ අංගමුව ප්‍රදේශයේදී 49 හැවිරිදි කාන්තාවක් තියුණු ආයුධ ප්‍රහාරයකින් ඝාතනය කර තිබේ. ඇය සිය සැමියා සමඟ ඇති වූ පවුල් ආරවුලක් හේතුවෙන් මාස අටක පමණ කාලයක සිට ඇගේ මවගේ නිවසේ ජීවත් වී ඇත. මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට රාජාංගනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

තිස්ස – මාතර මාර්ගයේ ලේනමුල්ල හන්දිය ප්‍රදේශයේදී බස් රථයකට යතුරුපැදියක් ගැටීමෙන් 79 හැවිරිදි යතුරුපැදිකරුවෙකු මියගොස් තිබේ. අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

කල්පිටිය – පාලවිය මාර්ගයේ ඒත්තාල හන්දිය ප්‍රදේශයේදී මෝටර් රථයකට පදිකයෙකු ගැටීමෙන් 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. අනතුරට සම්බන්ධ මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, කල්පිටිය පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරයි.

වෙන්නප්පුව පොලිස් වසමේ සින්ද්‍රාත්‍රිය මෝයකඩේදී 45 හැවිරිදි පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් ඇත. මිතුරන් කිහිපදෙනෙකු සමඟ දිය නෑමට ගොස් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. වෙන්නප්පුව පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Add to cart