සූඩානයේ නායයෑමෙන් 1000ක් මරුට

බටහිර සුඩානයේ ඩාෆූර් ද අයත් හීමාරා කඳුකර කලාපයේ සිදුවූ නායයාමකින් පුද්ගලයින් දහසකට වැඩි පිරිසක් මියගොස් තිබේ.

සුඩාන විමුක්ති පෙරමුණු හමුදාවට අනුව මෙලෙස මෙම නායයාමෙන් දිවිගලවාගෙන ඇත්තේ එක් අයෙක් පමණක් බව වාර්තා වේ.

නායයාම සිදුව ඇත්තේ පසුගිය අගෝස්තු 31 වනදා වුවත් ඒ සම්බන්ධ නිල වාර්තා අනාවරණ වී ඇත්තේ අද දිනය.

 

ලංවිම හයකට කඩලා විකුණන එක නැවැත්තුවා

පසුගිය ආණ්ඩු විසින් විදුලි බල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමේ සියලු ක්‍රියාවලියන්ට නීති ක්‍රියාත්මක කරමින් විදුලි බල පනත සම්මත කර තිබූ බව ඇමති වසන්ත සමරසිංහ මහතා පවසයි.

නමුත් වර්තමාන රජය විසින් එය සංශෝධනය කරමින් සේවක අයිතිවාසිකම් සුරක්ෂිතකර විදුලි බල මණ්ඩලය රාජ්‍ය සමාගම් භයකට යටත් කොට රජය අයිතිකරුවා බවට පත්කර තිබෙන බවත් හෙතෙම පෙන්වා දෙයි.

කිසිවිටක විදුලි බල මණ්ඩලය පෞද්ගලීකරණය හෝ විකිණීමට කටයුතු නොකරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඔහු මේ බව පැවසුවේ අනුරාධපුරයේදී පැවති ජන හමුවක් අමතමිනි.

 

ඕස්ට්‍රේලියා සමාගමක් ලංකාව හැර යයි

2024 අගෝස්තු මාසයේදී මෙරටට පැමිණි ඕස්ට්‍රේලියාවේ ක්ෂේත්‍රයේ බලශක්ති දැවැන්තයකු වන යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම නිල වශයෙන් සම්පූර්ණයෙන් මෙරට හැර ගොස් ඇති බවත් ඒ බවට මීට මාස තුනකට පෙර දැනුම් දී තිබෙන බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ මහතා ඩේලි එෆ්ට් පුවත්පතට ප්‍රකාශ කර ඇත.

බලාපොරොත්තු ලාබය ලබාගැනීමට වෙළෙඳ පොළක් නොමැති බවත් මෙහෙයුම් පවත්වා ගෙන යාමට තිබෙන පරිසරය පිළිබඳව සැහීමකට පත්විය නොහැකි බවත් යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දැනුම්දී තිබෙන බවද ඔහු පැවැසුවේය.

යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම මෙරටින් සම්පූර්ණයෙන්ම පිටව ගොස් ඇති බැවින් එම සමාගම සමග ගිවිසුම් අත්සන් කළ මෙරට ඉන්ධනහල් 64 නැවතත් ලංකා ඛනිජ තෙල් නීතිගතසංස්ථාවේ කළමනාකාරිත්වය යටතට ගන්නා බවද ඔහු ප්‍රකාශ කළේය.

යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම මෙරටින් ඉවත් වීම විශේෂයෙන් කැපී පෙනෙන්නේ එම සමාගම සිය ව්‍යාපාරය ව්‍යාප්ත කළ ප්‍රථම විදේශ රට ශ්‍රී ලංකාව වීම හේතුවෙනි.

ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම සහ විකිණීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 27.5 ක ආයෝජනයක් පොරොන්දු වෙමින් යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම ආයෝජන මණ්ඩලය හරහා මෙරටට පැමිණියේය.

කරන්නාගොඩගේ පොත එංගලන්තයේ තහනම්

ලොව විශාලතම මාර්ගගත අලෙවි වේදිකාවක් වන ඇමසන් (Amazon) සමාගමේ එක්සත් රාජධානියේ ශාඛාව විසින්, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාගේ ස්වයං චරිතාපදාන ග්‍රන්ථයක් වන ‘The Turning Point: The Naval Role in Sri Lanka’s War on LTTE Terrorism’ එරටදී අලෙවි කිරීම නවතා දැමීමට කටයුතු කර ඇත.

මෙම තීරණය ගෙන ඇත්තේ ජාත්‍යන්තර සත්‍ය සහ යුක්තිය ව්‍යාපෘතිය (International Truth and Justice Project) විසින් ඇමසන් සමාගමේ රාජ්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවට කරන ලද දැනුම්දීමකට ප්‍රතිචාර වශයෙනි.

එහිදී, ඔවුන් පෙන්වා දී ඇත්තේ කරන්නාගොඩ මහතාට එංගලන්ත රජය විසින් පනවා ඇති සම්බාධක හේතුවෙන් මෙම ග්‍රන්ථය අලෙවි කිරීම එරට සම්බාධක නීති උල්ලංඝනය කිරීමක් වන බවයි.

බ්‍රිතාන්‍ය සම්බාධකවලට යටත් පුද්ගලයකුට රාජකීය මුදල් ඇතුළු සම්පත් ලබා දීම, වසර හතක් දක්වා සිර දඬුවම් ලැබිය හැකි අපරාධ වරදක් ලෙස එරට නීතියේ දැක්වේ.

පසුගිය මාර්තු 24 වන දින බ්‍රිතාන්‍ය රජය විසින් ගෝලීය මානව හිමිකම් සම්බාධක රෙගුලාසි 2020 යටතේ වසන්ත කරන්නාගොඩ ඇතුළු ශ්‍රී ලාංකිකයන් කිහිපදෙනෙකුට සම්බාධක පනවන ලදී.

2005 – 2009 කාලය තුළ නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කරද්දී නීතිවිරෝධී ඝාතන ඇතුළු මානව හිමිකම් උල්ලංඝනයන් සිදුවූ බවට එල්ල වන චෝදනා හේතුවෙන් මෙම සම්බාධක පැනවීමට එරට රජය තීරණය කළේය.

කරන්නාගොඩ මහතාගේ මෙම ග්‍රන්ථය ප්‍රකාශයට පත් කර ඇත්තේ බ්‍රිතාන්‍යය පදනම් කොටගත් ලොව විශාලතම ඉංග්‍රීසි පොත් ප්‍රකාශන ආයතනයක් වන පෙන්ගුයින් රැන්ඩම් හවුස් ඉන්ඩියා (Penguin Random House India) ආයතනය විසිනි.

ඇමසන් සමාගම මෙම ග්‍රන්ථය අලෙවියෙන් ඉවත් කර ඇති බවට ජාත්‍යන්තර සත්‍ය සහ යුක්තිය ව්‍යාපෘතියට ලිඛිතව දැනුම් දී ඇති බව එම ව්‍යාපෘතිය සඳහන් කරයි.

ෂාරුක් ඛාන්ගේ පුත් ආර්යන් ඛාන් අධ්‍යක්ෂවරයෙක් ලෙස බොලිවුඩයට

බොලිවුඩ් සුපිරි තරුවක් වන ෂාරුක් ඛාන් තම දරුවන් තමන්ගේ වෘත්තීය ජීවිත තෝරා ගන්නා ආකාරය පිළිබඳව අදහස් ප්‍රකාශ කර තිබේ.

වැඩිමහල් පුත් ආර්යන් ඛාන් අධ්‍යක්ෂණය කළ ‘Bads Of Bollywood’ චිත්‍රපටය නුදුරු දිනයකදී නිකුත් කිරීමට සූදානමක් පවතින බව ෂාරුක් ඛාන් විදෙස් මාධ්‍යන්ට ප්‍රකාශ කර තිබේ.

වැඩිමහල් පුත් ආර්යන්ගේ පෙනුම සහ දෙබස් ඉදිරිපත් කිරීමේ හැකියාව රසිකයින්ගේ ප්‍රශංසාදට ලක් වූවත්, නළුවෙකු ලෙස ප්‍රසිද්ධියට පත්වීමට ඔහුගේ කිසිදු උනන්දුවක් නොමැති බව ෂාරුක් ඛාන් පැහැදිලි කර තිබේ.

ඒ වෙනුවට, ඔහු චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු හෝ ලේඛකයෙකු ලෙස වෘත්තීය ජීවිතයක් ගොඩනැගීම සඳහා අවධානය යොමු කර ඇති බවයි සඳහන් වේ.

ෂාරුක්ගේ ප්‍රකාශයේ සඳහන් වන්නේ, “මගේ පුතා රඟපාන්න කැමති නැහැ, ඔහු චිත්‍රපට කරන්න කැමතියි. ඔහු ටිකක් ලියනවා, ඔහු හොඳින් ලියනවා. ඔහු චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු හෝ ලේඛකයෙකු වීමට ඉගෙන ගනිමින් සිටී. ” යනුවෙනි.

තම පුතාගේ අධ්‍යක්ෂක සිහින සැබෑ කර ගැනීමට සහයෝගය දක්වන ෂාරුක් විදෙස් මාධ්‍යට වැඩිදුරටත් පවසා තිබුණේ, ආර්යන් ඛාන්ගේ අනාගතය සඳහා තමන්ට සැළසුමක් පවතින බවයි.

ශාරුක් ඛාග්නේ දියණිය සුහානා ඛාන් රංගනයට පිවිස තිබෙන බවත් සඳහන් වෙයි.

‘අත්අඩංගුවට ගන්න එපා’ ගම්මන්පිල ඉල්ලයි

තමන් අත්අඩංගුවට ගැනීම වළක්වමින් නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ගොනු කළ පෙත්සම කොළඹ අභියාචනාධිකරණයට ඒ මහතාගේ නීතීඥයන් විසින් භාර දී ඇත.

වසරක් වැනි දිගු කලක් රක්ෂිත බන්ධනාගාර කිරීමේ යටි අරමුණින් අයිසීසීපීආර් පනත අවභාවිතා කරමින් තමන් නීති විරෝදීව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි ඒ මහතා සදහන් කරයි.

එසේ කිරිම හරහා තමන් ආණ්ඩුව සම්බන්ධයෙන් කරන විවේචනයන් වසරක කාලයක් සඳහා නවත්වා ගැනීමට ඔවුන් බලාපොරොත්තු වන බවද හෙතෙම කියා සිටියි.

ගම්මන්පිල මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මියට පසුගියදා දැනුම් දී ඇත..

CID නිලධාරීන් අධිකරණයට ප්‍රකාශ කළේ, හිටපු අමාත්‍යවරයා මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් 2025 අගෝස්තු 12 වැනි දින ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බවයි.

එම පැමිණිල්ලේ සඳහන් වූයේ, අදාළ මාධ්‍ය හමුවේදී හිටපු අමාත්‍යවරයා විවිධ ප්‍රජාවන් අතර අසමගිය ඇති කළ හැකි ප්‍රකාශ සිදු කර ඇති බවයි.

මෙම ප්‍රකාශ ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනතේ (ICCPR) 3(1) වගන්තිය හෝ දණ්ඩ නීති සංග්‍රහයේ 120 වැනි වගන්තිය යටතේ වරදක් වනවාද යන්න තීරණය කිරීම සඳහා මෙම පරීක්ෂණය සිදු කරන බව CID අධිකරණයට දැනුම් දී තිබේ.

මහින්ද ප්‍රභාකරන්ට පැනලා යන්න උදව් කලා

2009 අවසන් යුද මෙහෙයුම් ක්‍රියාත්මක වන කාල සීමාවේදී එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ හදිසි සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර එල්ටීටීඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ට පලායාමට අවස්ථාව ලබා දුන් බව එවකට හිටපු හමුදාපති සරත් ෆොන්සේකා සඳහන් කරයි.

2009 වසරේ ජනවාරි 29 වනදාත් පෙබරවාරි පළවෙනිදාත් අතර කාලයේදී මෙම සටන් විරාමය ප්‍රකාශයට පත් කළේ ආරක්ෂක කවුන්සිලයේද මතය නොතකමින් බවත් හෙතෙම කියා සිටියි.

නමුත් එම සටන් විරාමයෙන් ප්‍රභාකරන් ප්‍රයෝජන ගෙන පලා යනු වෙනුවට ආපසු ආරක්ෂක හමුදාවට පහර දුන් බවද පැවසුව ඔහු ඒ හේතුවෙන් තම සෙබළුන් පන්සියයකට ආසන්න පිරිසක් මරණයට පත් වූද කියා සිටියේය.

යුද්ධය අවසන් කළේ තමන් යැයි රාජපක්ෂලා නිතර පැවසුවත් යුද්ධය අවසන් කළේ කෙසේදැයි ඕනෑම අවස්ථාවක පැහැදිලි ලෙස ප්‍රකාශ කරන්නයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිට අභියෝග කරන බවද ඒ මහතා උත්සව සභාවක් අමතමින් පැවසීය.

පාර්ලිමේන්තුවේ කෑම කමිටුවක්

පාර්ලිමේන්තුවේ ආහාරපානවල සෞඛ්‍යාරක්ෂිත බව වැඩි කිරීමට අදාළව යෝජනා ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පැවති ගෘහ්‍ය කාරක සභාවේදී තීරණය කෙරිණි.

කථානායකවරයාගේ ඉල්ලීම පරිදි බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ ප්‍රධානත්වයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පාර්ලිමේන්තු පරිශ්‍රයේ ආහාරපාන පිළියෙල කිරීමට අදාළ මුළුතැන්ගෙය ඇතුළු ස්ථාන පරීක්ෂා කිරීම පසුගිය අප්‍රේල් මාසයේදී සිදු කෙරිණි. ඒ අනුව ඊට අදාළ නිරීක්ෂණ ඇතුළත් වාර්තාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ගෘහ්‍ය කාරක සභාවට සවිස්තරාත්මකව ඉදිරිපත් කිරීම මෙහිදී සිදුවිය.

මෙහිදී අදහස් දක්වමින් බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වයි.බී ඉන්දික පැවසුවේ බත්තරමුල්ල ප්‍රදේශයේ රාජ්‍ය ආයතන 150කට ආසන්න ප්‍රමාණයක ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් විමර්ශනය කළද පාර්ලිමේන්තුවේ ආහාරවල සුරක්ෂිතබව පිළිබඳ නිරීක්ෂණයට එක්වූයේ පළමු වරට බවයි. ඒ සඳහා මැදිහත් වූ කථානායකවරයාට ස්තූතිය පළ කරන බව ද ඒ මහතා පැවසීය. ඒ අනුව පාර්ලිමේන්තුවේ ආහාර අමුද්‍රව්‍ය ලබාගැනීමේ සිට ආහාර නිෂ්පාදනය, ගබඩා කිරීම සහ පිළිගැන්වීම පිළිබඳව සිදුකළ විමර්ශනයේ වාර්තාවක් කථානායකවරයාට ලබා දුන් බව ද ඒ මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්, විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන්, රාජ්‍ය නිලධාරීන්,ආරක්ෂක අංශ ඇතුළු අනෙකුත් සේවකයන් සඳහා ආහාරපාන පාර්ලිමේන්තුව විසින් සැපයීම සිදුකරන පාර්ලිමේන්තුවේ ආහාරපානවල සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කිරීමේ අවශ්‍යතාව මෙහිදී කථානායකවරයා විසින් අවධාරණය කරන ලදී.

ඒ අනුව පාර්ලිමේන්තුවේ ආහාරපාන අංශයේ පවතින යටිතල පහසුකම්වල අඩුපාඩු මෙන්ම අනෙකුත් ගැටලු කඩිනමින් මඟහරවා ගැනීමට අදාළ යෝජනා සකස් කිරීම පිණිස මෙම කමිටුව පත් කරන බව කථානායකවරයා මෙහිදී සඳහන් කළේය.

ඒ අනුව ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ මුළුතැන්ගෙය කටයුතු පිළිබඳ විශේෂඥ දැනුමැති ඉංජිනේරුවෙකු /ගෘහ නිර්මාණ ශිල්පියෙකු, පාර්ලිමේන්තුවේ ආහාරපාන හා ගෘහ පාලන සේවා අධ්‍යක්ෂවරයා සහ පාර්ලිමේන්තුවේ සම්බන්ධීකරණ ඉංජිනේරුවරයා මෙම කමිටුවට ඇතුළත් විය යුතු බවට ද මෙහිදී යෝජනා විය.

ජනපති අනුර අද යාපනයේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) යාපනයේ නව සංවර්ධන ව්‍යාපෘති කිහිපයක වැඩ ආරම්භ කිරීමේ සහ විවෘත කිරීමේ අවස්ථාවන්ට සහභාගි වීමට නියමිතය.

යාපනය, මයිලිඩ්ඩි ධීවර වරාය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ තුන් වන අදියර අද (01) පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ.

මේ යටතේ උතුරු පළාතේ ධීවර ප්‍රජාවට මෙන්ම, නැගෙනහිර සහ දකුණු පළාත්වල සිට පැමිණෙන ධීවර බෝට්ටු සඳහාද ජලය, විදුලිය, ඉන්ධන ආදී මූලික සහ අත්‍යාවශ්‍ය පහසුකම්, ශිතාගාර පහසුකම්, දැල් සැකසීමේ මධ්‍යස්ථාන පහසුකම්, වෙන්දේසි ශාලා පහසුකම් සහ ගුවන් විදුලි පණිවිඩ හුවමාරු මධ්‍යස්ථාන පහසුකම්ද සලසා දීමට සැලසුම් කර ඇත.

ධීවර වරායේ වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවෙන් පසුව එම ස්ථානයේ පැවැත්වෙන ජන හමුවකටද ජනාධිපතිවරයා එක් වනු ඇත.

මේ අතර, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ යාපනය ප්‍රාදේශීය කාර්යාලය අද (01) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරෙනු ඇත.

යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පරිශ්‍රය තුළ ස්ථාපිත කෙරුණු මෙම කාර්යාලය නවීන තාක්ෂණය ඇතුළු සියලු පහසුකම්වලින් සමන්විතය. උතුරු පළාතෙන් විදේශ ගමන් බලපත්‍ර ඉල්ලුම්පත්‍ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතින හෙයින්, වඩාත් පහසුවෙන් ප්‍රවේශ විය හැකි ස්ථානයක අවශ්‍යතාව ඉටු කරමින් මෙම ප්‍රාදේශීය කාර්යාලය විවෘත කෙරේ.

මේ අතර, යාපනය පුස්තකාලයේ ඊ-පුස්තකාල (E Library) වැඩසටහනද අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙන අතර, මේ සමඟ ලොව ඕනෑම ස්ථානයක සිටින පුද්ගලයකුට යාපනය මහජන පුස්තකාලයේ ඇති ග්‍රන්ථ අන්තර්ජාලය ඔස්සේ පරිශීලනය කිරීමට අවස්ථාව උදා වෙයි.

යෝජිත යාපනය නව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම්‍ද අද පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙන අතර, ඉන් අනතුරුව එම ස්ථානයේ පැවැත්වෙන ජන හමුවක් සඳහාද ජනාධිපතිවරයා එක්වනු ඇත.

@PMD

සෙයිරි සතිය අද ඇරඹෙයි

රාජ්‍ය ආය­ත­න­වල ගොඩ­ගැසී ඇති අන­වශ්‍ය දෑ ඉවත් කිරීම සහ සංවි­ධිත බව පව­ත්වා­ගෙන යෑම සඳහා ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩ­ස­ට­හ­නට සම­ගා­මීව ක්‍රියා­ත්මක කරන (සෙයිරි සතිය) අදින් (01) ඇරඹේ. සියලු රාජ්‍ය ආය­ත­න­වල අද (01) සිට ලබන 4 දා දක්වා සෙයිරි සතිය ක්‍රියා­ත්ම­කය.

සෙයිරි යනු ඵල­දා­යි­තාව පිළි­බඳ පංච­විධ සංක­ල්ප­යට අනුව සංවි­ධිත බවය. අවශ්‍ය දෑ සහ අන­වශ්‍ය දෑ හඳුනා ගැනීම හා අන­වශ්‍ය දේ බැහැර කිරීම එහි අර­මුණ වේ.

ඒ අනුව සෑම ආය­තන ප්‍රධා­නි­යකු විසින්ම මෙම සතිය තුළ සෑම දින­කම උදේ වරුවේ පැය දෙකක කාල­යක් ආය­ත­නයේ ගොඩ­නැ­ඟිලි ඇතු­ළත පිටත සහ ගොඩ­නැ­ඟි­ලි­ව­ලින් බාහිර පරි­ස­රය මනාව පවත්වා ගැනී­මට කට­යුතු කළ යුතු බව රාජ්‍ය පරි­පා­ලන අමා­ත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා පව­සයි.

Add to cart