සෙයිරි සතිය අද ඇරඹෙයි

රාජ්‍ය ආය­ත­න­වල ගොඩ­ගැසී ඇති අන­වශ්‍ය දෑ ඉවත් කිරීම සහ සංවි­ධිත බව පව­ත්වා­ගෙන යෑම සඳහා ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩ­ස­ට­හ­නට සම­ගා­මීව ක්‍රියා­ත්මක කරන (සෙයිරි සතිය) අදින් (01) ඇරඹේ. සියලු රාජ්‍ය ආය­ත­න­වල අද (01) සිට ලබන 4 දා දක්වා සෙයිරි සතිය ක්‍රියා­ත්ම­කය.

සෙයිරි යනු ඵල­දා­යි­තාව පිළි­බඳ පංච­විධ සංක­ල්ප­යට අනුව සංවි­ධිත බවය. අවශ්‍ය දෑ සහ අන­වශ්‍ය දෑ හඳුනා ගැනීම හා අන­වශ්‍ය දේ බැහැර කිරීම එහි අර­මුණ වේ.

ඒ අනුව සෑම ආය­තන ප්‍රධා­නි­යකු විසින්ම මෙම සතිය තුළ සෑම දින­කම උදේ වරුවේ පැය දෙකක කාල­යක් ආය­ත­නයේ ගොඩ­නැ­ඟිලි ඇතු­ළත පිටත සහ ගොඩ­නැ­ඟි­ලි­ව­ලින් බාහිර පරි­ස­රය මනාව පවත්වා ගැනී­මට කට­යුතු කළ යුතු බව රාජ්‍ය පරි­පා­ලන අමා­ත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා පව­සයි.

ඉන්ධන වර්ග කිහිපයක මිල පහළට!

මිල සූත්‍රයට අනුකූලව මාසිකව සිදු කරනු ලබන සිපෙට්කෝ ඉන්ධන සිල්ලර මිල ගණන් සංශෝධනයට අදාලව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් නිකුත් කරන ඉන්ධන මිල ගණන් සැප්තැම්බර් මසට අදාළ ව  සංශෝධනය වී තිබේ.

ඒ අනුව;

  • ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල නොවෙනස් වන අතර පැවති මිල රුපියල් 341කි.
  • ඔක්ටේන් 92 පෙට්‍රල් ලිටරයක් රුපියල් 6කින් පහළ දමා ඇති අතර නව මිල 299ක් වේ.
  • ලංකා සුදු ඩීසල් ලිීටරයක් රුපියල් 6කින් පහළ දමා ඇති අතර නව මිල 283ක් වේ.
  • සුපිරි ඩීසල් ලීිටරයක් රුපියල් 12කින් පහළ දමා ඇති අතර නව මිල 313ක් වේ.
  • ලංකා භූමිතෙල් මිලෙහි වෙනසක් සිදු වී නොමැති බව දැනුම් දී තිබේ.

අදාළ සම්පුර්ණ නිවේදනය පහතින්…

වෙන්නප්පුවේ වෙඩි තැබූ සැකකරුවෙක් අල්ලයි

 

වෙන්නප්පුව පොලිසිය ආසන්නයේ පිහිටි වැව පාර ප්‍රදේශයේදී අද (අගෝස්තු 31) පෙරවරු 10:30ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබේ. මෙම සිදුවීමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වූ අතර, තවත් අයෙකු තුවාල ලබා පළා ගොස් ඇත.

පොලිස් වාර්තා අනුව, මොටර් රථයකින් පැමිණි පිරිසක් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකුගේ යතුරුපැදිය අනතුරට පත් කර ඇත. අනතුරෙන් පසු ඔවුන්ට තියුණු ආයුධවලින් පහර දී, රිවෝල්වර වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා ඇති බව සඳහන් වේ.

මියගිය පුද්ගලයා මහාධිකරණයේ නඩුවකට අදාළව වෙන්නප්පුව පොලිසියේ අත්සන් කිරීමට පැමිණ ආපසු යමින් සිටියදී මෙම ඝාතනයට ලක්ව තිබේ. ඔහුගේ නඩුව සම්බන්ධයෙන් අධිකරණ තීන්දුව සැප්තැම්බර් 9 වන දින ලැබීමට නියමිතව තිබූ බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු මේ වන විට සිදු කෙරේ.

ගෝඨා සහ සමන්ට CIDයෙන් කැඳවීමක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන දෙදෙනා වෙනම නඩු දෙකකට අදාළව ප්‍රකාශ ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

ගාලු මුවදොර පිටියේ ‘අරගලය’ විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාරය පාලනය කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් රාජපක්ෂ මහතාට කැඳවීමට නියමිතව ඇත..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ එක්සත් රාජධානියේ සංචාරය සහ සංචාරය සඳහා රාජ්‍ය අරමුදල් අනිසි ලෙස භාවිතා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හෙට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස ඒකනායක මහතාට නියෝග කර තිබේ.

(sundaytimes.lk)

චෙම්මනියේ කදුලට අලුත් පරිච්ජේදයක්

 

යාපනයේ චෙම්මනි ප්‍රදේශයේ, සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ සිදු කරන කැණීම්වලින් හමුවූ මිනිස් සිරුරු සංඛ්‍යාව 187 දක්වා ඉහළ ගොස් තිබේ. මේ වන විට පස්වන අදියරේ කැණීම් ක්‍රියාත්මක වෙමින් පවතී.

කැණීම්වල පස්වන දිනය වූ අගෝස්තු 29 දින තවත් මිනිස් සිරුරු 10කට අයත් අස්ථි කොටස් සොයාගෙන ඇති බව නිලධාරීහු ප්‍රකාශ කළහ. මේ දක්වා සොයාගෙන ඇති සිරුරු 187න්, 174ක අස්ථි කොටස් ගොඩගැනීම සම්පූර්ණ කර ඇත.

පස්වන අදියරේ කැණීම් කටයුතු අගෝස්තු 25 වැනි දින ආරම්භ වූ අතර, ඒවා සැප්තැම්බර් 7 වැනි දා දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙම කැණීම් කටයුතු අධීක්ෂණය කරන්නේ යාපනය මහේස්ත්‍රාත් ඒ.ඒ. ආනන්දරාජා මහතා විසිනි. කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව සහ යාපනය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය සෙල්ලයියා පිරනවන් ඇතුළු විශේෂඥ කණ්ඩායමක් මේ සඳහා දායක වේ.

කැණීම්වලින් හමුවූ සියලුම ද්‍රව්‍ය යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග යටතේ යාපනය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යා පීඨයේ විශේෂඥ වෛද්‍ය සෙල්ලයියා පිරනවන් භාරයේ තබා ඇත.

මෙම කැණීම් මගින් හෙළිදරව් වන කරුණු සම්බන්ධයෙන් රට තුළත්, ජාත්‍යන්තරයේත් දැඩි අවධානයක් යොමුවී ඇත.

තලතාට ලොකු බලයක්

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝරල සුවිශේෂී බල අධිකාරියක් පිහිටුවා ගෙන ඇති බව අභ්‍යන්තර තොරතුරුවලින් වාර්තා වේ.

එම වාර්තාවලින් හෙළි වන්නේ රවී කරුණානායක පවා මේ වනවිට තලතා අතුකෝරල සමඟ බරපතළ ගැටුමක් ඇති කර ගෙන ඇති බවයි. රනිල් වික්‍රමසිංහ හැර වෙනත් කිසිදු පක්ෂ නායකයෙකු සමඟ සහයෝගයෙන් කටයුතු නොකරන ලේකම්වරිය විවිධ නියෝග නිකුත් කරමින් සිටින බව වාර්තා වේ.

එම නියෝග අතරින් ප්‍රබල ම නියෝගයක් වී තිබෙන්නේ රූපවාහිනී දේශපාලන සංවාදවලට යාම පිළිබඳව සහ මාධ්‍ය හමුවේ අදහස් ප්‍රකාශ කිරීමට තලතා අතුකෝරලගේ අනුමැතිය ලබා ගත යුතු බවට නියෝග කර තිබීමයි. මේ නිසා රූපවාහිනී දේශපාලන සංවාදවලට එක් වීම බොහෝ දෙනෙකු ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.

1948 පනතක් ස්මාට් ගේට්ටු වසයි

කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් රටට ඇතුළුවන ගුවන් මගීන්ගේ පහසුව සඳහා පැමිණීමේ පර්යන්තයේ (Arrival Terminal) අලුතින් සවිකරන ලද ස්මාර්ට් ගේට්ටු (Smart Gates) 4 නීතිමය ගැටලුවක් හේතුවෙන් තවමත් භාවිතයට ගැනීමට නොහැකිව වසා දමා තිබෙන බව වාර්තා වේ.

ආගමන විගමන නිලධාරියකුගේ මැදිහත්වීමකින් තොරව ගුවන් මගීන්ට තමන් විසින්ම තම විදෙස් ගමන් බලපත්‍රය මෙම ගේට්ටුවලදී ස්කෑන් පරීක්ෂාවකට ලක්කර, එහි ඇති කැමරාවට තම මුහුණ පෙන්වා, පරිගණක පද්ධතිය ඔස්සේ තහවුරු කරගැනීම සිදුකර, වඩාත් ඉක්මනින් රටට ඇතුළු වීමට හැකිවන පරිදි මෙම ස්මාර්ට් ගේට්ටු පද්ධතිය නිමවා තිබේ.

එහෙත් ශ්‍රී ලංකාවේ දැනට මේ සම්බන්ධයෙන් පවතින නීතිය වන 1948 අංක 20 දරණ ආගමන විගමන පනතේ සඳහන්ව ඇත්තේ රටට ඇතුළු වන සෑම පුද්ගලයකුටම රටට ඇතුළු විය හැක්කේ ආගමන විගමන නිලධාරියකු විසින් අනුමැතිය ලබාදීමෙන් අනතුරුව බවට ය.

ඒ අනුව, ආගමන විගමන නිලධාරීන්ගෙන් තොර මෙම ස්මාර්ට් ගේට්ටු පද්ධතිය, ඉහත කී පනතේ අදාළ වගන්තියට තවත් වචන කිහිපයක් ඇතුළත් කිරීම ඔස්සේ නීතිය වෙනස් කෙරෙන තුරු භාවිතයට ගැනීමට නොහැකි වී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

මේ තත්වය තුළ අලුතින් සවිකරන ලද ස්මාර්ට් ගේට්ටු 4 තවදුරටත් වසා දමා ඇති බවත් ඒ හේතුවෙන් රටට ඇතුළුවන විදෙස් සංචාරකයින්ට පෝලිම්වල රැඳී සිටින්නට සිදුව ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.

ඇමති නලින්ද ඕම් බිර්ලා හමුවෙයි

ඉන්දියාවේ නිල සංචාරයක නිරත මෙරට පාර්ලිමේන්තු නියෝජිත පිරිස ඉන්දීය ලෝක් සභාවේ කථානායක ඕම් බිර්ලා හමුවිය. මෙවැනි නිල සංචාර තුළින් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් වන බව එහිදී ඉන්දීය ලෝක් සභාවේ කථානායකවරයා පෙන්වාදී ඇත.

ලෝක් සභාව සහ රාජ්‍ය සභාව සමඟ සම්බන්ධ වී කටයුතු කිරීම, සභා ගර්භ සහ පාර්ලිමේන්තු පුස්තකාලය නිරීක්ෂණය, ඉන්දියානු මාධ්‍යයේ කාර්යභාරය, පාර්ලිමේන්තු කාරක සභා පද්ධතිය, උසස් අධ්‍යාපනය, මහජන සෞඛ්‍ය, පාර්ලිමේන්තු වරප්‍රසාද සහ ආචාර ධර්ම වැනි ප්‍රධාන ක්ෂේත්‍ර පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා සිදුවිය.

යූක්රේනයේ හිටපු කතානායක මරුට

 

යූක්රේන පාර්ලිමේන්තුවේ හිටපු කතානායකවරයෙකු වන ඇන්ඩ්‍රි පරුබියි අද (2025 අගෝස්තු 31) බටහිර යූක්රේනයේ ලිවිව් නගරයේදී වෙඩි තබා ඝාතනය කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට, මෙම ඝාතනය සිදුව ඇත්තේ කුරියර්වරයෙකු ලෙස වෙස්වලාගත් අයෙකු විසින් මාර්ගයේ ගමන් කරමින් සිටි පරුබියිට පිටුපසින් පැමිණ වෙඩි තැබීමෙනි. එම ප්‍රහාරයෙන් ඔහු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙම ඝාතනය සම්බන්ධයෙන් යුක්රේන බලධාරීන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, ඝාතකයා සොයා ගැනීමට සියලුම අවශ්‍ය බලවේග යොදවා ඇති බව යූක්රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

මෙම සිදුවීම බිහිසුණු මිනීමැරුමක් ලෙස හැඳින්වූ යූක්රේන ජනාධිපතිවරයා, මේ පිළිබඳව කඩිනමින් විමර්ශනය කර ඝාතකයන් නීතිය හමුවට පමුණුවන බවට ප්‍රතිඥා දී ඇත.

මෙම අනපේක්ෂිත ඝාතනය සම්බන්ධයෙන් යූක්රේන දේශපාලන ක්ෂේත්‍රය තුළ කම්පනයක් හා නොසන්සුන්තාවක් ඇති වී තිබේ.

මුදලාලිව දන්නේ නැතිනම් වගා කරන්න එපා

අස්වනු අලෙවිය සඳහා වෙළඳපොලක් නොදන්නේ නම් වගා කිරීමෙන් වළකින ලෙස කෘෂිකර්ම, පශූ සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා ගොවීන්ට පවසයි.

“තමුන්නාන්සෙලාට වන්දියක් ලබාදෙන්න – ඒ කියන්නෙ වැටිලානෙ මේ ඉන්නෙ – මෙතන්ට රැස්කරගෙන අපි නිකම් ලොකු දේශන තියන්න යන්න ඕනෙ නෑ. හැබැයි ගැටලුවක් වුණාම රක්ෂණයකුත් අවශ්‍යයි. මං හිතන්නෙ නෑ අපි මේ දෙන වන්දියේ ප්‍රමාණය ඇති කියලා. මේවා අපි තව වැඩිදියුණු කරගන්නත් ඕනෙ. අපි මේ සියල්ල ගොඩනගමින් ඉන්න මොහොතක මෙහෙම අවස්ථාවකට සම්බන්ධ වෙලා මේ කටයුත්ත ඉදිරියට ගෙනියන්න දායක වෙන්න ලැබීම මං හිතනවා මගෙත් වාසනාවක් කියලා. තමුන්නාන්සෙලාට නම් මේක වාසනාවක් නෙවෙයි. හේතුව, හානිවෙලා නෙ මේ ඇවිල්ලා තියෙන්නෙ.

අපි කියන්නෙ වෙළඳපොල දන්නෙ නැත්නම් වගා කරන්න එපා. දැන් මේ වට්ටක්කා ප්‍රශ්නයක් ආවානෙ ඊයෙ පෙරේදා. මං සමහරුන්ගෙන් ඇහුවා වට්ටක්කා වැව්වෙ කාට දෙන්නද කියලා. වගා කරපු අය දන්නෙ නෑ. අපි දැන් කියන්නෙ වගා කරන්න, දෙන කෙනාත් දැනගෙන. දෙන්නෙ කීයටද කියලාත් දැනගෙන. පුරුද්දට වගා කරනවානෙ, ඒත් දැනගෙන තමයි අපිට ඉදිරියට වගා කරන්න වෙන්නෙ, එතකොට කවුරුත් අනාථ වෙන්නෙ නෑ“

ලාල්කාන්ත අමාත්‍යවරයා මේ බව පැවසුවේ වගා හානි වන්දි ලබාදීම වෙනුවෙන් පසුගියදා පොලොන්නරුව ප්‍රදේශයේදී පැවති උත්සවයක් අමතමිනි.

Add to cart